අස්වැසුම ඕනේ නම් 31 ට කළින් කළ යුතු දේ රටටම දන්වයි - මේ තොරතුරු සඳහා නිලධාරීන් නිවෙස්වලට
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීමේ ක්‍රියාවලියට අදාළ සංගණන කටයුතු 2026 මැයි මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.
ඒ අනුව මෙම ජාතික වැඩසටහනේ මූලිකම අරමුණ වන්නේ රටේ සැබවින්ම ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන, රාජ්‍ය සුබ සාධන ප්‍රතිලාභ වඩාත්ම අවශ්‍ය කරන ජනතාව හඳුනාගෙන ඔවුන් වෙත කඩිනමින් සහන සැලසීම වේ.
එබැවින් මෙම සංගණන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට නිවසට පැමිණෙන සංගණන නිලධාරීන්ට පූර්ණ සහයෝගය ලබාදීම සහ සත්‍ය හා නිවැරදි තොරතුරු පමණක් ලබාදීම අත්‍යවශ්‍ය වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දන්වයි.
එසේම ලබාදෙන නිවැරදි තොරතුරු මත, සුබසාධක සහන සැබෑ ලෙසම හිමිවිය යුතු ප්‍රතිලාභීන් හඳුනා ගැනීමට පහසුවක් බවත් සඳහන්.
කෙසේ වුවත් අසත්‍ය තොරතුරු ලබා දුනහොත් වෙනත් නිල ක්‍රම වේද මඟින් එවැනි තොරතුරුවල සත්‍යතාව අනාවරණය කර ගැනීමට වැඩපිළිවෙලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සකසා ඇති බව ද සඳහන්. ඒ අනුව වැරදි තොරතුරු සැපයීම නීතිය හමුවේ දඩුවම් ලැබිය හැකි වරදක් බව සඳහන්.
ඒ අනුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තවදුරටත් දන්වා ඇත්තේ සුබ සාධන ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් අසත්‍ය හෝ වැරදි තොරතුරු සැපයීම 2002 අංක 24 දරණ සුබ සාධක ප්‍රතිලාභ පනතේ 20 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් වැරදිකරු කරනු ලැබුවහොත්, වසරකට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
එබැවින්, එළඹෙන මැයි 31 දිනට පෙර ඔබේ නිවසට පැමිණෙන සංගණන නිලධාරියාට නිවැරදි තොරතුරු පමණක් සපයා, මෙම කාර්යය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කාරුණිකව ඉල්ලා සිටියි.