මේ විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණවලින් තේරී පත්වූ 1,540 දෙනාටම බලන් සිටි පත්වීම් ලිපිය හෙට අතටම
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා, මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ නව ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, ප්‍රථම වතාවට ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා තේරී පත් වූ නිලධාරීන් 1,540 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (08) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු කෙරෙන බවයි.
ඒ අනුව ඔහු සඳහන් කරන්නේ මෙම පත්වීම් ප්‍රදානය සමඟ දීර්ඝ කාලයක් තිස්සේ ග්‍රාම නිලධාරී සේවයේ පැවති ගැටලු රාශියක් නිරාකරණය කරගැනීමට අවස්ථාව උදා වන බවයි.
එමෙන්ම මීට පෙර විවිධ බලපෑම් මත බඳවා ගැනීම් සිදු වුවද, වත්මන් රජය යටතේ විභාග ප්‍රතිඵල සහ සම්මුඛ පරීක්ෂණවල කුසලතාවයන් පමණක් සැලකිල්ලට ගනිමින් සුදුස්සන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය සක්‍රියව ක්‍රියාත්මක කර ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
ඒ අනුව චන්දන අබයරත්න මහතා පෙන්වා දෙන්නේ ග්‍රාමීය මට්ටමේදී පවතින බරපතළ නිලධාරී හිඟය සහ සමහර ස්ථානවල එක් ග්‍රාම නිලධාරීවරයෙකුට වසම් දෙකක වැඩ ආවරණය කිරීමට සිදු වීම වැනි ගැටලුවලට මෙම 1,540 දෙනා බඳවා ගැනීමත් සමඟ යම් ප්‍රමාණයක විසඳුමක් ලැබෙනු ඇති බවයි.
එසේම ලබන වසරේදීත් තවත් 1,500කට අධික පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතින බවත්, එමඟින් වාර්ෂිකව ඇතිවන පුරප්පාඩු හැර ග්‍රාම නිලධාරී සේවයේ පවතින සියලුම පුරප්පාඩු සම්පූර්ණයෙන් පුරවා ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබා දීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.
තවද දීර්ඝ ඉතිහාසයක් සහිත ග්‍රාම නිලධාරී සේවය යනු ගම සහ රාජ්‍ය යන්ත්‍රණය එකිනෙක සම්බන්ධ වන ප්‍රධානතම පුරුක වන බව කියූ අමාත්‍යවරයා, එහි පැවති නොවිසඳුණු ගැටලු රැසකට රජය මඟින් විසඳුම් ලබා දී ඇති බවද සඳහන් කළා.
විශේෂයෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ නොතිබූ සේවා ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සහ රුපියල් 5,000 ක් වශයෙන් පැවති නිල ඇඳුම් දිමනාව රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට කටයුතු කර ඇති බවත්, මීට අමතරව නොවිසඳී පවතින අනෙකුත් ගැටලු සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරවා ඇති බැවින් ඉදිරි අවස්ථාවලදී ඊට විසඳුම් ලැබීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම “පොහොසත් රටක්, ලස්සන ජිවිතයක් ” තේමාව යටතේ රටේ සංවර්ධන කටයුතු සිදුවන අවස්ථාවක ග්‍රාමීය සංවර්ධනයට අත්‍යවශ්‍ය නිලධාරී කාණ්ඩයක පුරප්පාඩු පිරවීමට හැකිවීම පිළිබඳව ඔහු සිය සතුට ද පළ කර ඇත.
මේ අතර අමාත්‍යවරයා තමන්ගේම කුසලතාවයෙන් පත්වීම් ලබන සියලුම තරුණ තරුණියන්ට සිය සුභාශිංසන පිරිනමන බව පැවසූ අතර මෙහිදී තමන් වෙත පැවරෙන්නේ හුදෙක් රැකියාවක් පමණක් නොව මහා දැවැන්ත ජනතා සේවයක් බව සිහියේ තබාගෙන, බිම් මට්ටමේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවයක් ලබා දීමට කටයුතු කරන ලෙස ද පත්වීම් ලාභීන්ගෙන් ඉල්ලා ඇත.
ඒ අනුව මෙම සමස්ත බඳවා ගැනීමේ ක්‍රියාවලිය පූර්ණ නීතිමය පටිපාටියකට සහ විනිවිද භාවයකින් යුත් කාල රාමුවකට අනුකුලව සිදු කර තිබෙන අතර, 2025 මැයි 26 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව 2025 ඔක්තෝබර් 24 දිනැති අංක 2460 ගැසට් පත්‍රය මගින් අයදුම්පත් කැඳවා තිබුණා.
එහිදී සමස්ත අයදුම්කරුවන් 79,315 දෙනෙකු (සිංහල මාධ්‍යයෙන් 57,401ක්, දෙමළ මාධ්‍යයෙන් 21,704 ක් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 210ක්) අයදුම්පත් යොමු කර තිබුණ අතර විභාග දෙපාර්තමේන්තුව මගින් 2026 මාර්තු 29 වන දින පවත්වන ලද ලිඛිත තරඟ විභාගයට අපේක්ෂකයින් 43,624 දෙනෙකු (සිංහල මාධ්‍යයෙන් 30,969ක්, දෙමළ මාධ්‍යයෙන් 12,580 ක් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 75ක් ) පෙනී සිටියා. එම විභාගයේ ප්‍රමුඛතා ලේඛනය 2026 අගෝස්තු 15 දින නිකුත් විය.
පසුව පවතින ග්‍රාම නිලධාරි පුරප්පාඩු 1,605 ක් වෙනුවෙන් විභාගයෙන් ඉහළම ලකුණු ලැබූ අයදුම්කරුවන් 3,286 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට කටයුතු සූදානම් කළ අතර අපේක්ෂකයන්ගේ මූලික සුදුසුකම්, බාහිර කුසලතා සහ නායකත්ව හැකියාවන් ඇගයීම සඳහා 2026 සැප්තැම්බර් 04, 05 සහ 06 යන දිනවල නාරාහේන්පිට නිල මැදුර පරිශ්‍රයේදි සම්මුඛ පරීක්ෂණ මණ්ඩල 23 ක් මගින් සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත.
එහිදී පුර්ණ ස්වාධීනත්වය තහවුරු කිරීමට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවලට අපේක්ෂකයන්ගේ ලිඛිත විභාග ලකුණු දැනගැනීමට කිසිදු අවකාශයක් සලසා නොතිබුණ බව සඳහන්.
එමෙන්ම සම්මුඛ පරීක්ෂණවලදී ලබා දුන් ලකුණු 2026 සැප්තැම්බර් 14 දින විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද අතර, ලිඛිත විභාගයේ සහ සම්මුඛ පරීක්ෂණයේ ලකුණු එකතු කර සකස් කරන ලද අවසන් ප්‍රමුඛතා ලේඛන සැප්තැම්බර් 23 දින අමාත්‍යාංශය වෙත ලැබීමෙන් අනතුරුව සැප්තැම්බර් 24 වන දින අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අඳාළ ප්‍රමුඛතා ලේඛනයට අනුව සුදුසුකම් ලැබූ පත්වීම් ලාභීන් 1,540 දෙනා වෙත පුහුණු පත්වීම් ප්‍රදානය කිරීමේ කැඳවීම් ලිපි සැප්තැම්බර් 28 සහ 29 දිනවල තැපෑලට යොමු කර ඇත.
ඒ අනුව එළඹෙන 2026 ඔක්තෝබර් 08 වන දින එනම් හෙට දින පත්වීම් ලබන මෙම 1,540 දෙනා, 2026 ඔක්තෝබර් 12 වන දින සිට ක්‍රියාත්මක වන මාස 03ක කෙටි කාලීන පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් අඳාළ සේවා ස්ථාන කරා යොමු කරමින් ග්‍රාම නිලධාරී සේවයට නිල ලෙස ඇතුළත් කර ගැනීමට නියමිත බව සඳහන්.