උණුසුම ඉහළට - පළාත් කිහිපයකට අනතුරු ඇඟවීම
බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත් සමඟ මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට (4) දිනයේදී මෙම ප්‍රදේශවල කිහිපයක තාප දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය, ‘අවවාදයයි’ මට්ටම දක්වා ඉහළ යා හැකි බවයි.
සාපේක්ෂ ආර්ද්‍රතාවය හා උපරිම උෂ්ණත්වය පදනම් කරගෙන මෙම තාප දර්ශකය ගණනය කෙරෙන අතර, එය සිරුරට දැනෙන සැබෑ උෂ්ණත්ව තත්ත්වය පෙන්වයි.
දිගු කාලයක් හිරු එළියට නිරාවරණය වීම සහ එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත වීම හේතුවෙන් තෙහෙට්ටුව ඇතිවිය හැකි අතර, අඛණ්ඩව එවැනි ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් තාප කැක්කුමක් ඇතිවීමේ අවදානම ද පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, ජනතාවට ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමින් සජලව සිටීමටත්, දැඩි හිරු එළිය යට එළිමහන් ක්‍රියාකාරකම් සීමා කිරීමටත් උපදෙස් ලබා දී ඇත.