පාකිස්තානයේ ඉන්ධන මිල ඉහළ යයි
මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් සැපයුම් අවහිර වීම සැලකිල්ලට ගනිමින් පාකිස්තානය යළි ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව පාකිස්තාන රුපියල් 321ක්ව පැවති පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වුණේ පාකිස්තාන රුපියල් 458ක් ලෙසය.
පාකිස්තාන රුපියල් 335ක්ව පැවති ඩීසල් ලීටරයක මිල රුපියල් 184කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල පාකිස්තාන රුපියල් 520ක් ලෙස සටහන් වී ඇත. සීමිත සම්පත් හා යුදමය තත්ත්වයේ අවසානයක් නොමැති වීම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බව එරට රජයේ බලධාරීන් සඳහන් කර තිබේ.
පාකිස්තානය බහුලවම ආනයනික ඉන්ධන මත රඳා පවතින අතර අර්බුදයට ලක්ව ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඔවුන් වැඩි වශයෙන් ඉන්ධන ආනයනය සිදු කරයි.
ගැටුම් ආරම්භයෙන් පසු මේ දක්වා පාකිස්තානය අවස්ථා දෙකකදී ඉන්ධන මිල සංශෝධනයට පියවර ගෙන ඇති අතර ඒ අනුව ගැටුම්වලට පෙර පැවති මිලට වඩා එරට වත්මන් පෙට්‍රල් මිල සියයට 77කින් සහ ඩීසල් මිල සියයට 87කින් ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.