විජේට මහ ඇමති පුටුව හීනයක් වෙයි? - මහ ඇමති ලෙස දිවුරුම් දෙන්න විජේට ආරාධනා නොකරයි
ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට සුපිරි නළු විජේට (Thalapathy Vijay) අද (09) දිනයේ ආරාධනා කර නොමැති බව තමිල්නාඩු ආණ්ඩුකාර කාර්යාල ආරංචි මාර්ග තහවුරු කරයි.
ආසන 234 කින් සමන්විත ප්‍රාන්ත සභාවේ බහුතරය පෙන්වීමට අවශ්‍ය මන්ත්‍රී ආසන 118 සම්පූර්ණ කරගැනීමට විජේගේ තමිලග වෙට්රි කසාගම් (TVK) පක්ෂය තවමත් සටනක නිරතව සිටීම මෙයට හේතුවයි.
පසුගියදා නිමාවූ තමිල්නාඩු මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගත් විජේගේ පක්ෂය ආසන 108 ක් දිනාගැනීමට සමත් විය.
ඉන්දීය කොංග්රස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 05 දෙනාගේ සහාය ඔහුට හිමිව ඇති අතර, එයත් සමඟ ඔහුගේ බලය ආසන 113 දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත්, රජයක් පිහිටුවීමට අවශ්‍ය වන 118 සම්පූර්ණ කිරීමට ඔහුට තවත් මන්ත්‍රීවරුන් පස්දෙනෙකුගේ සහාය අවශ්‍යව ඇත.
ආණ්ඩුකාර ආර්.වී. අර්ලේකර් (RV Arlekar) මහතා අවධාරණය කර ඇත්තේ බහුතර සහයෝගය පිළිබඳ නිල ලිපි ඉදිරිපත් කරන තෙක් දිවුරුම් දීම සඳහා ආරාධනා කළ නොහැකි බවයි.
මෙම තත්ත්වය හමුවේ විජේගේ පාර්ශවය මේ වන විට සී.පී.අයි (CPI), සී.පී.එම් (CPI-M) සහ වී.සී.කේ (VCK) වැනි සුළු පක්ෂවල මන්ත්‍රීවරුන් සමඟ තීරණාත්මක සාකච්ඡා පවත්වමින් සිටියි.