යළි යළිත් ඇවිලෙන ලංකාවේ ගල් අඟුරු අර්බුදය - ගොඩබෑමට නුසුදුසු තවත් ගල් අඟුරු නැවක් ඇවිත්
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්‍රික් ටොන් 59,766 ක් රැගත් නෞකාවක් මේ වන විට මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති අතර එම තොගය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ පවතින බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය සඳහන් කරයි.
අදාළ නෞකාවේ ගල්අඟුරු පැටවුම් වාර්තාව ද ප්‍රසිද්ධ කරමින් ඔවුන් මේ බව පවසයි.
MV ජොස්කො යොංග්ෂු නමැති අඳාළ නෞකාවේ පවතින ගල් අඟුරුවල ප්‍රමිතිය දැක්වෙන පැටවුම් වාර්තාව දකුණු අප්‍රිකාවේ බියුරෝ වෙරිටාස් සොලියුෂන්ස් පෞද්ගලික සමාගම මඟින් ලංකා ගල්අඟුරු සමාගමේ අධ්යක්ෂවරයා වෙත යොමු කර තිබෙන අතර, එහි පිටපත් ගල් අඟුරු සමාගමේ සියලු නිලධාරීන් හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් වෙත යොමු කර ඇති බව ද ෆ්‍රී ලෝයර්ස් සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව අඳාළ වාර්තාවට අනුව ඉකුත් මස 28 සහ 29 යන දෙදින දකුණු අප්‍රිකාවේ රිචඩ්ස් බේ ගල් අඟුරු පර්යන්තයෙන් මෙම ගල්අඟුරු තොගය අදාළ නෞකාවට පටවා තිබෙන අතර එහි අළු ප්‍රතිශතය 16.8% ක් බවත්, ලංකා ගල්අඟුරු සමාගම විසින් ඉදිරිපත් කළ ටෙන්ඩර් ලේඛනයේ දැක්වෙන පරිදි එම අගය ඒකක 16 ක් විය යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.
එමෙන්ම මීට පෙර මෙරටට රැගෙන ආ නෞකා 18 ක තිබූ ගල්අඟුරු දඩ මුදලකට යටත් කර ගොඩබානු ලැබුව ද මෙය ගොඩබෑම හෝ සිදු නොකළ යුතු තරමට ප්‍රමිතියෙන් බාල පළමු ගල්අඟුරු නෞකාවක් බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඉදිරිපත් කර ඇති වාර්තාවේ සඳහන්.