මැදපෙරදිග උණුසුම් කරමින් සෞදියට F-35 - යානා 48කට ඇමෙරිකාවේ අනුමැතිය
සෞදි අරාබියට ඇමෙරිකානු ඩොලර් බිලියන 24.3ක වටිනාකමකින් යුත් F-35 ප්‍රහාරක ගුවන් යානා 48ක් අලෙවි කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබේ.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම ගනුදෙනුව අනුමත කර ඇති අතර, එය සම්පූර්ණ කිරීම සඳහා ඇමෙරිකානු කොංග්‍රසයේ විධිමත් සමාලෝචනය සහ අනුමැතිය අවශ්‍ය වේ. ගනුදෙනුවට F-35 යානා 48ට අමතරව එන්ජින් 49ක් සහ අදාළ සන්නිවේදන උපකරණ, අමතර කොටස් හා සහායක උපකරණ ඇතුළත් වේ.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, සෞදි අරාබියේ ආරක්ෂක හැකියාව ශක්තිමත් කිරීම සහ ඇමෙරිකානු මෙන්ම කලාපීය හමුදා සමඟ එරට අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම මෙම ගනුදෙනුවේ අරමුණු අතර වන බවයි. එමෙන්ම, මෙම අලෙවිය මගින් මැදපෙරදිග කලාපයේ පවතින හමුදා බල තුලනය වෙනස් නොවන බවද ඇමෙරිකාව පවසයි.
මේ අතර, F-35 යානා ලබාදීම සම්බන්ධයෙන් ඇමෙරිකානු කොංග්‍රසයේ විධිමත් දින 30ක සමාලෝචන කාලයක් පවතින අතර, එම කාලය තුළ ගනුදෙනුවට විරෝධය පළ කිරීමේ හැකියාව කොංග්‍රසයට ඇත.
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් කලාපීය ආරක්ෂාව සහ F-35 තාක්ෂණය සම්බන්ධ කරුණු පිළිබඳවද අවධානය යොමුව තිබේ. මේ වනවිට මැදපෙරදිග F-35 යානා භාවිත කරන එකම රට ඊශ්‍රායලය වන අතර, ඇමෙරිකාවේ ප්‍රතිපත්තිය අනුව කලාපීය ආයුධ ගනුදෙනුවලදී ඊශ්‍රායලයේ හමුදාමය වාසිය සැලකිල්ලට ගනු ලැබේ.
මේ අතර, යේමනයේ හූති සංවිධානය පසුගිය 16 වැනිදා ප්‍රකාශ කළේ මාරිබ් ප්‍රදේශයට ඉහළින් පියාසර කළ සෞදි F-15 ප්‍රහාරක යානයක් තමන් විසින් මතුපිට සිට ගුවනට එල්ල කළ මිසයිලයකින් බිම හෙළූ බවයි. එම ප්‍රකාශයට සහාය දක්වමින් ගුවන් යානයේ සුන්බුන් බව කියන දර්ශනද ඔවුන් නිකුත් කර තිබේ.
කෙසේ වෙතත්, එම F-15 යානය බිම හෙළූ බව සෞදි බලධාරීන් විසින් මෙතෙක් තහවුරු කර නොමැති අතර, නිකුත් කළ දර්ශනවල ස්ථානය සහ වේලාව ස්වාධීනව තහවුරු කර නොමැති බවද වාර්තා වේ.