ප්රධාන මාර්ගයේ බස් දෙකක් ගැටී දරුණු අනතුරක් - 25ක් රෝහලට
හම්බන්තොට - මාතර ප්රධාන මාර්ගයේ පල්ලෙමලල ප්රදේශයේදී අද(18) දින දහවල් 01 ට පමණ බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් වෙළෙඳසැලක තාප්පයක කොටසක් කඩාගෙන ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 25 දෙනකු පමණ තුවාල ලබා හම්බන්තොට දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය ප්රකාශ කරයි.
එසේම මෙම තුවාල කරුවන් අතර විදේශීය සංචාරකයන් තිදෙනකු සිටින අතර ඔවුන් ගෙන් දෙදෙනකු සංචාරක කාන්තාවන් බවත් පොලිසිය සඳහන් කළා.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ලංගම බස් රථයක් සහ පුද්ගලික මගී බස් රථයක් බව සඳහන්.
දෙහිඅත්තකණ්ඩියේ සිට ගාල්ල බලා ධාවනය වූ දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවට අයත් අඳාළ ලංගම බස් රථය එයට ඉදිරියෙන් තිස්සමහාරාම සිට මාතර දක්වා ධාවනය වූ පුද්ගලික මගී බස් රථයට ඉස්සර කිරීමට යාමේදී ලංගම බස් රථය පුද්ගලික මගී බස් රථයේ පිටුපස ගැටීම නිසා වේගය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇත.
ඒ අනුව ලංගම බස් රථය මාර්ගයේ වම්පසින් වෙළෙඳසැලේ තාප්පය කඩාගෙන ගොස් නැවතී ඇති බව පොලිසිය වැඩිදුරටත් වාර්තා කරයි.