සංගක්කාරගේ කණ්ඩායම බිලියනපතියන් දෙදෙනෙකුට - IPL ඉතිහාසයේ දැවැන්තම පෙරළිය
කුමාර් සංගක්කාරගෙන් පුහුණුකාරිත්වයෙන් යුත් රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ පාලනාධිකාරියට අයත් බහුතර කොටස් අත්පත් කරගැනීමට බිලියනපති දෙපළක් කැමැත්ත පළකර ඇති බව ඉන්දීය මාධ්‍ය අද (3) තහවුරු කළේය.
ඒ අනුව ඉන්දීය බිලියනපති වානේ ව්‍යාපාරික ලක්ෂ්මි මිට්ටාල් සහ එන්නත් ව්‍යාපාරික අදාර් පූනවල්ලා මෙලෙස ඉදිරිපත් වී සිටින අතර, ඔවුන් අමෙරිකානු ඩොලර් බිලියන 1.65කට මිලදී ගැනීමට කැමැත්ත පළකර ඇත.
ඔවුන් මිලදී ගැනීමට සූදානම් වටිනාකමේ මෙරට අගය රුපියල් බිලියන 527.45ක් නොහොත් රුපියල් කෝටි පනස්දෙදහසකට (52,745.5)කට සමානය.
මෙහිදී මිට්ටාල් සහ ඔහුගේ පවුලේ අයට රාජස්ථාන් කණ්ඩායමෙන් බහුතර අයිතියක් එනම්, 75%ක අයිතියකට හිමිකම් කීමට අවස්ථාව උදාවේ.
එමෙන්ම පූනවල්ලාට 18% අයිතියක් හිමිවන බව ඉන්දීය මාධ්‍ය පවසයි.
කෙසේ නමුත් රාජස්ථාන් හවුල්කරුවෙකු වන මනෝජ් බඩලේ ඇතුළු දැනට සිටින ආයෝජකයින් සිය 7%ක පමණ වන තමන්ට හිමි කොටස් තවදුරටත් රඳවාගැනීමට තීරණය කර තිබේ.
මෙම වෙළෙඳ ගනුදෙනුවට නිල අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ඔවුන්ට රාජස්ථාන් රෝයල්ස් සන්නායම යටතේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 'SA20' සහ කැරිබියන් ප්‍රිමියර් ලීගයේ 'බාබඩෝස් රෝයල්ස්' කණ්ඩාම්වල අයිතියද හිමිවේ.
කෙසේ නමුත් මෙම ගනුදෙනුව සම්පූර්ණවීමට නම් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) අනුමැතිය මෙන්ම තවත් ආයතන කිහිපයක නියාමන අනුමැතියට යටත්විය යුතුය.
ඉන් අනතුරුව මිට්ටල්, ඔහුගේ පුත් ආදිත්‍ය සහ දියණිය වනීෂා මිට්ටල්-භාටියා, පූනවල්ලා සහ බඩලේ රාජස්ථාන් රෝයල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වීමට අවස්ථාව උදාවේ.