අනේ අපි වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම්.. බද්ද අඩු කරන්න..- ලංකාව ඇමරිකාවෙන් ඉල්ලයි..
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “අන්‍යෝන්‍ය බදු ක්‍රමය” යටතේ ශ්‍රී ලංකාවට සියයට 44ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර ඇති වූ වෙළෙඳ ගැටලුව විසඳීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇති බව ආරංචි මාර්ග පවසයි.
එසේම, ශ්‍රී ලංකාව ඇමෙරිකාවෙන් ස්වාභාවික ද්‍රව වායු, පෙට්‍රෝලියම් නිෂ්පාදන සහ වාහන මිලදී ගැනීමට කැමැත්ත පළ කර ඇත.
ඇමෙරිකානු වෙළෙඳ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව තම යෝජනා ඉදිරිපත් කර ඇති අතර, වෙළෙඳ ගැටලුව විසඳීමට ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇත.
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ප්‍රතිපත්තිමය ගිවිසුමකට එළඹීමේ අපේක්ෂාවෙන් වොෂිංටන්හි සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඉදිරි සති කිහිපය එහි රැඳී සිටිනු ඇති බව ආරංචි මාර්ග පවසයි.
අවශ්‍ය නම්, දූත පිරිස වොෂිංටන්හි රැඳී සිටින කාලය තවදුරටත් දීර්ඝ කරනු ඇති බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මෙම තොරතුරු තහවුරු කරමින් මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ, ස්වාභාවික ද්‍රව වායු, පෙට්‍රෝලියම් නිෂ්පාදන සහ වාහන ඇතුළු භාණ්ඩ වැඩි වශයෙන් ඇමෙරිකාවෙන් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව සාකච්ඡාවලදී කැමැත්ත පළ කර ඇති බවයි.
දෙරට අතර ඇති වූ මෙම වෙළෙඳ ගැටලුව විසඳිය හැකි ආකාරය ගැන සලකා බැලීමට ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.
ඇමෙරිකාවට වාසිදායක ලෙස වෙළෙඳ අතිරික්තය අඩු කිරීමට සහ ඇමෙරිකානු භාණ්ඩ සඳහා පනවා ඇති තීරු බදු අඩු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව වොෂිංටන්හි සිටින දූත පිරිස ඇමෙරිකානු වෙළෙඳ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දන්වා ඇති බව එම නිලධාරියා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට පනවා ඇති සියයට 44ක “අන්‍යෝන්‍ය තීරු බදු” ලිහිල් කිරීමේ ගිවිසුමකට එළඹීම සඳහා ඇමෙරිකානු වෙළෙඳ නියෝජිතයන් සමඟ වොෂිංටන්හිදී මෙම සාකච්ඡා පවත්වා ඇත.
මෙරට ආර්ථිකයට අහිතකර ලෙස බලපාන සහ ඇඟලුම් කර්මාන්තයට බරපතල බලපෑමක් එල්ල කරන සියයට 44ක ඇමෙරිකානු තIRR බද්ද ක්‍රියාත්මක වීම වැළැක්වීමට ශ්‍රී ලංකා දූත පිරිස සාකච්ඡා මේසයේදී සෑම උත්සාහයක්ම ගන්නා බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසීය.
පසුගිය 22 වනදා ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත ජේමිසන් ග්‍රීර් සහ ඔහුගේ කණ්ඩායම සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, හැකි ඉක්මනින් ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් අවසන් කිරීමට දෙපාර්ශ්වයම කැමැත්ත පළ කර ඇත.
