ක්‍රිකට් ලෝලීන්ට දැනුම්දීමක් - T20 ලෝක කුසලාන අවසන් පූර්ව සහ අවසන් මහා තරගවල ප්‍රවේශ පත්‍ර අද සිට
2026 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය නැරඹීමට ප්‍රවේශ පත්‍ර අද (24) සිට නිකුත් කරන බව සංවිධායකයින් නිවේදනය කරයි.
ඒ අනුව ලොව පුරා විසිරී සිටින ක්‍රිකට් ලෝලීන්ට මාර්තු 4 සහ 5 යන දිනවල පැවැත්වෙන අවසන් පූර්ව තරග සඳහා සහ මාර්තු 8 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා tickets.t20worldcup.com වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගත හැකි බව සඳහන්.
පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන ස්ථානය තීරණය වන්නේ දැනට පැවැත්වෙන 'සුපිරි 8' වටයේ ප්‍රතිඵල මත වේ.
ඒ අනුව එය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ කොල්කටා ඊඩන් ගාර්ඩන්ස් ක්‍රීඩාංගණය අතර මාරු විය හැකි (Floating Venue) ලෙස සැලසුම් කර ඇත.
එමෙන්ම පාකිස්ථානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවහොත්, ඔවුන් මාර්තු 4 වන දින කොළඹදී ක්‍රීඩා කරනු ඇත. එමෙන්ම පාකිස්ථානය සුදුසුකම් නොලැබ ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඉන්දියාව හැර වෙනත් කණ්ඩායමක් සමඟ තරග කරන්නේ නම්, එම තරගය කොළඹදී පැවැත්වෙන බව පවසයි.
එහෙත් මෙම අවස්ථා දෙකම සිදු නොවුවහොත් හෝ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයක් වුවහොත්, පළමු අවසන් පූර්ව තරගය කොල්කටාහිදී පැවැත්වෙයි.
එසේම දෙවන අවසන් පූර්ව තරගය වන මෙය මාර්තු 5 වන දින මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව පාකිස්ථානය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත් එය කොළඹදී පැවැත්වෙන අතර, එසේ නොමැති නම් එය අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් යම් හෙයකින් ප්‍රවේශ පත්‍ර මිලදී ගත් ක්‍රීඩාංගණයක තරගය නොපැවැත්වීමට තීරණය වුවහොත්, එම ප්‍රවේශ පත්‍ර සඳහා ගෙවූ මුදල් නැවත ලබා දීමට (Refund) කටයුතු කරන බව බලධාරීන් දැනුම් දෙයි.
මේ අතර දැනට කණ්ඩායම් අටක් අවසන් පූර්ව වටයේ ස්ථාන හතර සඳහා සටන් වදියි. පළමු කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව පෙරමුණේ පසුවන අතර, දෙවන කාණ්ඩයෙන් එංගලන්තය පෙරමුණේ පසුවේ.
එසේම නවසීලන්තය සහ පාකිස්ථානය අතර පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඔවුන්ට එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි විය.