නැවතත් අතිශය දරුණු කුනාටුවක් ගොඩබිමට ඇතුල් වේ - අතිශය බරපතල තත්ත්වයක් සමඟ දරුණු ගංවතුරක්
පැසිෆික් සාගරයේ පිහිටි අමෙරිකානු දූපත් කලාපයන් වන ගුවාම් සහ උතුරු මරියානා දූපත් දෙසට 'Bavi' නමැති අතිශය දරුණු සුළි කුණාටුව පැමිණෙමින් තිබීම හේතුවෙන් එම වැසියන් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමේ හදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.
අමෙරිකානු ජාතික කාලගුණ සේවයට අනුව හෙට උදෑසන වන විට මෙම කුණාටුව ගොඩබිමට කඩා වැදීමට නියමිත අතර එම අවස්ථාවේදී පැයට කිලෝමීටර් 257 ක පමණ අතිශය දරුණු සුළඟක් හැමිය හැකි බවට අනාවැකි පළ කර ඇත.
කාලගුණ අංශ අනතුරු අඟවන්නේ මෙම අතිශය භයානක කුණාටුව හේතුවෙන් ව්‍යසනකාරී හානි සිදු විය හැකි බවත් ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් දරුණු ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බවත්ය.
එමෙන්ම මුහුදේ රළ මීටර් 11 ක් වැනි අසාමාන්‍ය උසකට ඉහළ යාමට ඉඩ ඇති අතර කුණාටුවේ කේන්ද්‍රය පැමිණීමට පැය 8 කට හෝ 10 කට පෙර සිටම විනාශකාරී කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
සාමාන්‍යයෙන් සංචාරක පාරාදීසයක් ලෙස හැඳින්වෙන, ලක්ෂ එකහමාරකට අධික ජනගහනයක් වෙසෙන ගුවාම් දූපතේ පාසල් කේන්ද්‍ර කරගනිමින් හදිසි සහන කඳවුරු 5ක් විවෘත කර ඇති අතර ඉන් ඇතැම් මධ්‍යස්ථාන මේ වන විටත් උපරිම ධාරිතාවට පැමිණ ඇති බව වාර්තා වේ.
අමෙරිකානු නාවික හමුදාවේ ඒකාබද්ධ ටයිෆූන් අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන පරිදි 'බාවි' කුණාටුව 4 වැනි හෝ 5 වැනි ගණයේ සුළි කුණාටුවකට සමාන විනාශකාරී බලපෑමක් එල්ල කළ හැකි දරුණු සුළිකුණාටු ගණයට අයත් වේ.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ගෝලීය දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුදු මතුපිට උෂ්ණත්වය ඉහළ යාම සහ දැනට පවතින සක්‍රීය එල් නිනෝ තත්ත්වය ද මෙම කුණාටු වඩාත් දරුණු වීමට හේතු වී ඇති බවයි.
මෙය ගතවූ දශකය තුළ අමෙරිකානු කලාපයට කඩා වදින 11 වැනි දරුණුතම කුණාටුව වන අතර මේ වසරේ අප්‍රේල් මාසයේදී ද 'Sinlaku' නමැති දරුණු කුණාටුව කඩා වැදීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් අමෙරිකානු ඩොලර් බිලියන 1.5 කට අධික දේපළ හානියක් සිදුව තිබුණි.