සූර්ය බලශක්ති (Solar) භාවිත කරන අයට ජනාධිපතිගෙන් සුබ ආරංචියක් - බැටරි ගබඩා පද්ධතිවලට බදු සහන
නිවාසවල වහල මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති භාවිත කරන්නන් සඳහා බැටරි ගබඩා පද්ධති සවිකිරීම දිරිගැන්වීමට සහන හඳුන්වාදීම පිළිබඳව රජය සලකා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සඳුදා (12) පැවති ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
කුඩා ප්‍රමාණයේ බැටරි ගබඩා පද්ධති සඳහා පනවා ඇති බදු හේතුවෙන් ගෘහස්ථ සූර්ය බලශක්ති පද්ධති භාවිත කරන්නන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව තමන් දැනුවත් බව ද ජනාධිපතිවරයා පැවසීය. මෙ
ගාවොට් එකකට වැඩි ධාරිතාවකින් යුත් බැටරි ගබඩා පද්ධති සඳහා දැනටමත් සහන ලබාදී තිබුණ ද, ඊට අඩු ධාරිතාවකින් යුත් බැටරි සඳහා තවදුරටත් බදු අදාළ වන බව ඔහු පෙන්වා දුන්නේය. කිලෝවොට් 200ත් 500ත් අතර ධාරිතාවකින් යුත් බැටරි පද්ධති අවශ්‍ය වන ගෘහස්ථ පාරිභෝගිකයන්ට ද සහන ලබාදීමේ හැකියාව පිළිබඳව රජය අවධානය යොමු කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත්, සූර්ය බලශක්තියෙන් නිපදවන විදුලිය ගබඩා කිරීම සඳහාම නිර්මාණය කර ඇති බැටරි සහ අනෙකුත් බැටරි වර්ග අතර වෙනස හඳුනාගැනීමේ තාක්ෂණික ගැටලුවක් පවතින බව ද ඔහු පැවසීය.
එම ගැටලුව විසඳීමෙන් අනතුරුව යෝජිත සහන ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. සූර්ය බලශක්ති ධාරිතාව පුළුල් කිරීමට පියවර රජය පුනර්ජනනීය බලශක්තියට විරුද්ධ බවට පළවන අදහස් ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා, සිය පාලන කාලය තුළ සූර්ය බලශක්ති උත්පාදනය පුළුල් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය.
රජය බලයට පත්වන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ස්ථාපිත සූර්ය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1,400ක් පමණ වූ බවත්, පසුගිය වසර දෙක තුළ ඊට අමතරව මෙගාවොට් 1,500ක ධාරිතාවක් එක්කර ඇති බවත් ඔහු සඳහන් කළේය. තවත් මෙගාවොට් 1,100ක සූර්ය බලශක්ති ධාරිතාවක් සඳහා ගිවිසුම් අත්සන් කර ඇති අතර, එම ව්‍යාපෘතිවල කටයුතු ලබන වසරේදී අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
ඒ අනුව, ලබන වසර වන විට සූර්ය බලශක්ති ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමට රජය සැලසුම් කර තිබේ. සීමිත ඉඩම් සම්පත් සහිත ශ්‍රී ලංකාව වැනි රටක බිම් මට්ටමේ සූර්ය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පවතින අභියෝග පිළිබඳව ද ජනාධිපතිවරයා අවධානය යොමු කළේය. ඔහු පෙන්වා දුන්නේ මෙගාවොට් එකක සූර්ය බලශක්ති ධාරිතාවක් ස්ථාපනය කිරීම සඳහා දළ වශයෙන් අක්කර තුනක ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය වන බවයි.
පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති කෙරෙහි අවධානය ඉඩම් හිඟයට විකල්පයක් ලෙස ජලාශ සහ වෙනත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජය අවධානය යොමු කර තිබේ. ඒ යටතේ, රන්දෙණිගල ජලාශය ආශ්‍රිතව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් හරහා පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා අනාවරණය කළේය.
මොරගහකන්ද, සමනලවැව සහ චන්ද්‍රිකා වැව ද මෙවැනි ව්‍යාපෘති සඳහා සුදුසු ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. බැටරි ගබඩා පද්ධති සඳහා ටෙන්ඩර් කැඳවයි පුනර්ජනනීය බලශක්ති උත්පාදනයේදී සිදුවන විචලනයන් කළමනාකරණය කිරීම සඳහා බැටරි ගබඩා පද්ධති අත්‍යවශ්‍ය බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. සූර්ය බලශක්ති උත්පාදනය සාමාන්‍යයෙන් දහවල් කාලයේදී ඉහළ යන අතර, ඇතැම් අවස්ථාවලදී එම අතිරික්ත විදුලිය විදුලි පද්ධතියට එක්කර ගැනීමේ හැකියාව ඉක්මවා යන බව ඔහු පැහැදිලි කළේය.
ඒ අනුව, දහවල් කාලයේදී නිපදවන අතිරික්ත විදුලිය බැටරි තුළ ගබඩා කර රාත්‍රී කාලයේදී භාවිතයට ගැනීමේ වැඩපිළිවෙළක් කෙරෙහි රජය අවධානය යොමු කරමින් සිටී.
බැටරි ගබඩා ඒකක 160ක් සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇති බවත්, ඉන් ඒකක 13ක කටයුතු නොවැම්බර් මස අවසානය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. තවත් බැටරි ඒකක 250ක් සඳහා ද ටෙන්ඩර් කැඳවා ඇති බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම, මෑතකදී සිදුකළ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී පෙර ටෙන්ඩරයට සාපේක්ෂව රුපියල් 10ක පමණ මිල අඩුවීමක් වාර්තා වී ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය. දැනට ක්‍රියාත්මක වන විදුලි බලාගාර සඳහා ද බැටරි ගබඩා පහසුකම් ලබාදීමේ හැකියාව පිළිබඳව රජය සලකා බලමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
විදුලි උත්පාදනයෙන් 69%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ශ්‍රී ලංකාවේ වත්මන් විදුලි උත්පාදනයෙන් ආසන්න වශයෙන් 69%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පවතින තත්ත්වයන් අනුව ඇතැම් දිනවල එම ප්‍රතිශතය 70%ත් 75%ත් අතර මට්ටමකට ඉහළ යන බව ද ඔහු සඳහන් කළේය. පසුගිය අඛණ්ඩ දින හතර තුළ විදුලි උත්පාදනය සඳහා ඩීසල් භාවිත කර නොමැති බව අනාවරණය කළ ජනාධිපතිවරයා, එය පුනර්ජනනීය බලශක්තිය වෙත රට යොමුවීමේ ක්‍රියාවලියේ වැදගත් ජයග්‍රහණයක් ලෙස හැඳින්වීය.
බාධාවකින් තොරව විදුලිය සැපයීම සහ පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට විදුලිය ලබාදීම රජයේ ප්‍රධාන අරමුණු බව ද ඔහු අවධාරණය කළේය.
එම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව පුළුල් කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.