පොලිසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් - මෙන්න විස්තරේ
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද (24) වීථි සංචාරය කිරීමට නියමිතයි. ශ්‍රී දළදා මාලිගාව අබියසින් රාත්‍රී 7.00ට නැඟෙනහිර දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන්ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතව තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි. අගෝස්තු 18 වන දින ආරම්භ වූ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 28 වන දින දක්වා පැවැත්වේ.
පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ රථවාහන තදබදය පාලනය කිරීම සඳහා මාර්ග බාධක යෙදවීම, ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගල පරීක්ෂාව, සංචාරකයින්ට මගපෙන්වීම මෙන්ම රථවාහන ගාල් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති බවයි.
සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර ඊයේ (23) රාත්‍රී වීදි සංචාරය කළ අතර, එහිදී සධාතුක පෙරහර කරඬුව වැඩම කරවන ලද්දේ රුහුණු කතරගම මහා දේවාලයට අයත් ‘වාසනා’ ඇතා විසින්ය. ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ‘සිංහ රාජා’ සහ ‘පුලතිසි රාජා’ යන ඇතුන් දෑලේ ගමන් ගෙන ඇත.

