අඛණ්ඩව විදුලිය දෙන්න නම් මෙහෙම කරන්න වෙනවා - විදුලි බිලට කරන දේ නලින්ද පැහැදිලි කරයි
රජයේ ප්‍රධානම අරමුණ අඛණ්ඩ බලශක්තිය ලබා දීම බවත් ඒ වෙනුවෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග රජය මඟින් ගනු ලබන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (20) දින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ ලෝක වෙළෙඳපොළේ සියලු මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් ලෝක වෙළෙඳපොළේ ගල්අඟුරු මිලදී ගැනීමේදී පවා මිල ඉහළ ගොස් ඇති බවයි.
තවද සාමාන්‍ය කාලවලදි සිදුවන මිලදී ගැනීම් වෙනුවෙන් ගෙවනු ලබන මිල ගණන් නොවන බැවින් අමාත්‍යවරයා පැවසුවේ මෙම තත්ත්වයන් මත ඉදිරිය තීරණය කිරීමට සිදුවන බවයි.
"අපේ ප්‍රධානම ඉලක්කය තමයි අඛණ්ඩව විදුලිය සැපයීම. ඒ සඳහා ගතයුතු සියලුම ක්‍රියාමාර්ග අපි අනුගමනය කරනවා. එක් එක් මාසවල විදුලිය පරිභෝජනයේ වෙනස්කම් තිබෙනවා. සමහර මාසවලදි විදුලි පරිභෝජනය වැඩියි. ගල්අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමහර වාර්තා විමර්ශනයට යොමු කරලා තිබෙනවා අපි ඒවා බලමු කොහොම වුණත් අපේ බලාපොරොත්තුව තිබෙන්නේ අඛණ්ඩව විදුලිය සැපයීම. ලෝක වෙළෙඳපොළේ සියලු දේම මිල ඉහළ ගිහිල්ලා තිබෙන්නේ ගල්අඟුරුවල ඉඳලා හැමදේම. අනිත් පැත්තෙන් මෙවැනි තත්ත්වයකදි අපි සිදුකරන ටෙන්ඩර්වලදි සාමාන්‍ය කාලවලදි එන මිල ගණන් නෙමෙයි මේ ගැන සලකලා බලලා තමයි තෙල් මිල වේවා, විදුලි බිල වේවා සියල්ල තීන්දු කරන්න වෙන්නේ."