යුද ගිනි මැද ලංකාවට තවත් අසුබ පුවතක් - ලංකාවේ පොල්වලටත් නරක කාලයක්
මැදපෙරදිග යුදමය වාතාවරණය නිසා මෙරට පොල් අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් මේ වන විට එල්ලවී ඇති බව පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය නයනි ආරච්චිගේ සඳහන් කරයි.
එබැවින් පොල් නිෂ්පාදන අපනයනය කිරීමෙන් වාර්ෂිකව හිමිවන ඇමරිකානු ඩොලර් මිලියන එක්දහස් දෙසීයත් එක්දහස් අටසීයත් අතර ආදායම මේ වසරේදී පහළ යාහැකි බව ඇය පෙන්වා දෙයි.
එමෙන්ම දිසිදි පොල්, පොල් ක්‍රීම් සහ පොල් කිරි, පොල් තෙල් හා පිටිකළ පොල් කිරි ඇතුළු නිෂ්පාදන අපනයනය කරනු ලබන විශාලතම වෙළෙඳපොළක් පවතිනුයේ මැදපෙරදිග කලාපයේ වන අතර මේ වන විට යුදමය වාතාවරණයත් සමඟ එම කලාප වෙත පොල් නිෂ්පාදන අපනයනය කිරීමට නොහැකිව තිබෙන බව සඳහන්.
තවද ප්‍රවාහන වියදම් වැඩීම, නැව් ගාස්තු වැඩීම වැනි කරුණු හේතුවෙන්ද දේශීය පොල් නිෂ්පාදන විදෙස් වෙළෙඳපොළට යැවීමට බාධා එල්ලව ඇති බව අධ්‍යක්ෂවරිය කියා සිටියා.
ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,
“රට තුළ ගත්තොත් අපේ කර්මාන්ත පැත්තෙන් ඉන්ධන මිල වැඩිවීම එක්ක නිෂ්පාදන වියදමේ ඉතාමත් වැඩිවීමක් තියෙනවා. අපේ ප්‍රධාන අපනයනයක් වෙන තැඹිලිවලින් සියයට සියයකටම කිට්ටු වෙන්න අපනයනය කරන්නේ මැදපෙරදිග වෙළෙඳපොළට. නමුත් මේ වෙද්දි ඒක සම්පූර්ණයෙන්ම බිඳවැටිලා තියෙනවා. මෙලෙස අපනයනය අඩුවීමත් සමඟ පොල් ගෙඩි විශාල ප්‍රමාණයක් අපනයන වෙළෙඳපොළ සඳහා නිෂ්පාදන සිදුකරන්න යොමු කරන්න නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා අපි යෝජනා කරා පුලුවන් තරම් දේශීය පොල් තෙල් නිෂ්පාදනය සඳහා වැඩිපුර ගෙඩි ප්‍රමාණයක් යොමුකරන්න කියලා. ඒ වගේමයි චීනයේ විශාල වෙළෙඳපොළක් විවෘත වෙලා තියෙනවා. මේ වෙද්දි චීනයට ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියාව වැනි රටවලින් තමයි පොල් නිෂ්පාදන යවන්නේ. ඒ නිසා එම වෙළෙඳපොළ යම් විදිහකින් අපිට විවෘත කරගන්න හැකියාව තියෙනවා නම් චීනය වෙත අපේ නිෂ්පාදන යොමු කරන්න පුලුවන්.”