දුම්රියේ ගමන් කරන අයට විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක වන පරිදි මේ දුම්රිය ස්ථාන වසා දමයි
පුත්තලම් දුම්රිය මාර්ගයේ බංගදෙණිය සහ මුන්දල දුම්රිය ස්ථාන අතර පිහිටි ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානයේ සේවය කළ උප දුම්රිය ස්ථානාධිපතිවරයා සේවයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් එම දුම්රිය ස්ථානය ඊයේ සිට තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මීට අමතරව අධික මගී ජනතාවක් භාවිත කරන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ආඳදොල දුම්රිය ස්ථානය මාස එකොළහක කාලයක සිටත්, අකුරළ දුම්රිය ස්ථානය මාස නවයක කාලයක සිටත් මේ වන විට වසා දමා ඇත.
මෙම දුම්රිය ස්ථාන මෙලෙස දිගින් දිගටම වසා තැබීම හේතුවෙන් දෛනිකව දුම්රිය භාවිත කරන මගී ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිති.
මෙම දුම්රිය ස්ථාන වසා දැමීම හේතුවෙන් මගීන්ට එම ස්ථානවලින් සාමාන්‍ය ප්‍රවේශපත් සහ වාර ප්‍රවේශපත් ලබා ගැනීමට මෙන්ම දුම්රිය ධාවනය වන වේලාවන් සහ ප්‍රමාදයන් පිළිබඳ කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකි වී තිබේ.
කෙසේ වුවද දුම්රියන් තවදුරටත් මෙම ස්ථානවල නතර කර ධාවනය කරන නමුත්, එහිදී දුම්රියට ගොඩවන මගීන්ට තමන් ගමන් ගන්නා අනෙක් දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත් ලබා ගැනීමට සිදු වී ඇත.
තවද රාත්‍රී කාලයේදී මෙම උප දුම්රිය ස්ථානවල විදුලි ආලෝකය පවා නොමැති වීම නිසා මගීන් දැඩි අනාරක්ෂිත සහ දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙති.
මෙම වසා දැමූ උප දුම්රිය ස්ථාන සඳහා සහන දුම්රිය ස්ථානාධිපතිවරුන් යොදවා ඒවා යළි විවෘත කර ජනතාවට සේවය සැලසීමට නීත්‍යනුකූල ක්‍රමවේදයක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතී.
එහෙත් වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් සමස්ත දුම්රිය සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීමට සැලසුම් කිරීම හේතුවෙන්, මෙම ස්ථාන සඳහා සහන දුම්රිය ස්ථානාධිපතිවරුන් යෙදවීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
පාලනාධිකාරියේ මෙම තීරණ හේතුවෙන් අවසානයේදී පීඩාවට පත්ව ඇත්තේ අසරණ දුම්රිය මගී ජනතාවයි.