"අයියේ ගල් කන්ටේනර් දෙකක් තියෙනවා.. නිදහස් කරලා දෙන්න" - කියමින් බැකෝ සමන් මනම්පේරිව රැවටිලාලු
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටින සැකකරු සම්පත් මනම්පේරිගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී, මිද්දෙණිය ප්‍රදේශයේදී හමුවූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය සහිත කන්ටේනර් දෙක සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණය වී ඇති බව විමර්ශන නිලධාරීන් පවසති.
මෙම සැකකරු, වරාය පොලිස් ස්ථානයේ රඳවා සිටි අතර, පෙරේදා (26) බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආවේ මිද්දෙණිය අයිස් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයකට අනුවය.
ඊයේ (27) දිනයේදී ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී, විදේශගත බැකෝ සමන් නමැත්තාගේ දැනුම්දීම මත ඔහු කන්ටේනර් දෙක භාරගෙන මිද්දෙණියට රැගෙන ආවත්, ඒවායේ අන්තර්ගතය ගැන ඒ වන විට නොදැන සිටි බව ඔහු පවසා ඇත.
බැකෝ සමන්ගේ වට්ස්ඇප් පණිවිඩ හරහා සිදු වූ සංවාදයේදී, ඔහු "අයියේ කන්ටේනර් දෙකක් තියෙනවා. ඒ දෙක නිදහස් කරගන්න ඕන. මට ඒක කරලා දෙන්න පුළුවන්ද?" යනුවෙන් විමසා ඇති අතර, සම්පත් මනම්පේරි "ලෙඩක් වැටෙන දෙයක්ද මල්ලී?" යනුවෙන් ප්‍රතිචාර දක්වා ඇත. එහෙත් බැකෝ සමන් "එහෙම දෙයක් නෙවෙයි අයියේ. ගල් වගයක් එන්නේ. වරායෙන් නිදහස් කරලා තියෙන්නේ. අයියට තියෙන්නේ ගිහින් ගන්න විතරයි" යනුවෙන් ප්‍රතිචාර කරමින්, "ගල්" යනුවෙන් අයිස් මත්ද්‍රව්‍ය යොදාගෙන ඔහුව රැවටූ බව සම්පත් මනම්පේරි ප්‍රකාශ කර ඇත.
අදාළ කන්ටේනර් දෙකේ ලියකියවිලිද බැකෝ සමන් විසින් වට්ස්ඇප් හරහා එවා වූ අතර, සම්පත් මනම්පේරිගේ සහෝදරයා වන පියල් මනම්පේරිගේ සහායත් ලැබුණු බව ඔහු පිළිගෙන ඇත. කන්ටේනර් රැගෙන මිද්දෙණියට ගොස් දින දෙකකට පසුව ඒවායේ රසායනික ද්‍රව්‍ය තොගයක් (අයිස් නිෂ්පාදනයට යොදාගන්නා) ඇති බව දැනගත් ඔහු, බැකෝ සමන්ට "මල්ලි මේක තනිකර ලෙඩක්. කරන දෙයක් ඉක්මනට කරගන්න" යනුවෙන් දැනුම් දී ඇත.
එම රසායනික ද්‍රව්‍ය පානදුරේ නිලංගගේ කණ්ඩායම විසින් කොටස්වලට බෙදා නුවරඑළිය, හම්බන්තොට සහ කඳාන ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම ආරම්භ කළත්, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු බියවීන්න, සම්පත් මනම්පේරි සහ සහෝදරයා එක්ව ඒවා වල දමා පළා යාමට පියවර ගෙන ඇත. ඉන් පසුව ඔහු මිද්දෙණියෙන් පළා ගොස්, බැකෝ සමන් සහ දරූන් හරහා හඳුනාගත් මන්නාරමේ කේරල ගංජා ජාවාරම්කරු "ටයිගර්"ගේ සහායෙන් බෝට්ටුවක් මගින් ඉන්දියාවට පළා යන්න සැලසුම් කර ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබේ.
සම්පත් මනම්පේරිගේ අපරාධකරුවන් සමඟ සබඳතා හෙළිකිරීම සඳහා ඔහුගේ ජංගම දුරකථනය සොයාගැනීමට උත්සාහ කළත්, එය සොයාගැනීමට තවමත් සමත් නොවී ඇත. ඔහුගෙන් විමසූ විට "සර් මම හිටපු පොලිස්කාරයෙක්. ඒ හින්දා මම දන්නවා ජංගම දුරකථනය අහුවුණොත් මොකද වෙන්නේ කියලා. ඒ හින්දා වැල්ලවත්තේදී ඒක කෝච්චියකට තියලා විනාශ කරලා දැම්මා" යනුවෙන් පිළිතුරු දී ඇත.
බැකෝ සමන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ කරුණු මත පදනම්ව, සම්පත් මනම්පේරිගේ වැඩිදුර විමර්ශන සිදුකෙරෙන අතර, ඔහු බැකෝ සමන්ගේ ගිනි අවි ප්‍රවාහනය, මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්, කේරල ගංජා ගනුදෙනු ඇතුළු අපරාධවලට සම්බන්ධ බව පිළිගෙන ඇති බව පොලිසිය පවසයි. රසායනික ද්‍රව්‍ය ගැන "කිසිවක් නොදන්නා" බවට ඔහු පවසුවද, එයද විමර්ශනයට ලක්ව ඇත.
එමෙන්ම, විවිධ දේශපාලනඥයින් සමග ඔහුගේ සබඳතා සහ ඒ හරහා සිදුකළ අපරාධවලද විමර්ශන පවත්වාගෙන යන අතර, මෙම කටයුතු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගලගේ සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් සිදුවේ. මෙම සිද්ධියේදී හමුවූ රසායනික ද්‍රව්‍ය තොගය නිෂ්පාදනයෙන් ලැබෙන අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 100කට වැඩි වනු ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබේ.