රුමේෂ්ගේ රන් පදක්කමත් සමඟ ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් සටහනේ 14 වැනි ස්ථානයට
අද 2026.08.01 සෙනසුරදා වන විට පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ ශ්‍රී ලංකා කණ්ඩායම 14 වැනි ස්ථානයට පැමිණීමට සමත්ව තිබේ.
ඊයේ (31) රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත පදක්කම් සටහනේ ඉදිරියට පැමිණීමට සමත් විය.
මෙම ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන පැරා ක්‍රීඩා තරගාවලියේ කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් පාලිත බණ්ඩාර රිදී පදක්කම දිනා ගත්තේය.
මීට පෙර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනාගෙන තිබුණේ 2006 වසරේ බර ඉසිලීමේ ඉසව්වෙන් චින්තන විදානගේ විසිනි.
මේ වන විට ශ්‍රී ලංකාව රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගෙන ඇති අතර, සමස්ත පදක්කම් සංඛ්‍යාව දෙකකි.පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියාව රන් පදක්කම් 53ක්, රිදී පදක්කම් 30ක් සහ ලෝකඩ පදක්කම් 43ක් සමඟ සමස්ත පදක්කම් 126ක් දිනාගෙන තිබේ.
දෙවැනි ස්ථානයේ පසුවන එංගලන්ත කණ්ඩායම රන් පදක්කම් 17ක්, රිදී පදක්කම් 34ක් සහ ලෝකඩ පදක්කම් 29ක් සමඟ සමස්ත පදක්කම් 80ක් දිනාගෙන තිබේ.
තෙවැනි ස්ථානයේ පසුවන කැනඩා කණ්ඩායම රන් පදක්කම් 17ක්, රිදී පදක්කම් 15ක් සහ ලෝකඩ පදක්කම් 21ක් සමඟ සමස්ත පදක්කම් 53ක් දිනාගෙන තිබේ.