IMF එකෙනුයි ඉන්දියාවෙනුයි දුන්න ආධාර ගැන රාජිතගෙන් බරපතළ හෙළිදරව්වක්
එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජික හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ආපදා තත්ත්වය නිසා මෙරටට ඉන්දියාවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්(IMF) ලැබී ඇත්තේ ණය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන ඇත්තේ 8%ක ඉහළ වාණිජ පොලියකට බවත් ප්‍රකාශ කරයි.
ඒ අනුව ඉන්දියාව ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 450න් 350ක්ම ණය බවත් ප්‍රදානයක් ලෙස ලබා දී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 206 ක් මෙරට ලබාදී ඇත්තේ 8%ක ඉහළ වාණිජ පොලියකට බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි අවස්ථාවල දී ණය ලබා ගත යුත්තේ 1%ක හෝ 2% කත් අතර අඩු පොලී අනුපාතිකයකට විය යුතු බවත් මේ ආකාරයට ඉහළ පොලී අනුපාතිකයකට ණය ලබා ගැනීම තුළින් ඇතිවන්නේ ආර්ථික අර්බුදයක් ඇතිවීම බවයි.
එසේම මේ වන විට ලබාගන්නා මෙම ණයට අමතරව තවත් ණය විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව ගෙවිය යුතු බවත් ඒ හේතුවෙන් පැරණි ණය සහ අලුත් ණය කළමනාකරණය කිරීමට මීට වඩා දැඩි අවධානයක් ආණ්ඩුව යොමු කළ යුතු බවත් පවසයි.
එබැවින් ආපදාවෙන් විපතට පත් ජනතාවට සහනාධාර බෙදාදීම සහ රට ගොඩනැංවීමේ කටයුතුවල බරපතළ අඩුපාඩු ඇති බවට බොහෝ චෝදනා එල්ල වන නිසා මේ පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු කළ යුතු බවද ඔහු සඳහන් කරයි.
තවද IMF සමඟ ආර්ථිකය කළමනාකරණය කිරීම ප්‍රායෝගිකව සිදුකරමින් රට ස්ථාවර කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්‍ෂ ලෙස ක්‍රියා කළත් එවැනි කළමනාකරණ හැකියාවක් වර්තමාන ආණ්ඩුවට නොමැති බවත් ඔහු කියයි.
විශේෂයෙන්ම ආර්ථික අර්බුදය පැවැති අවස්ථාවේදී රුපියල් 390කට වඩා ඉහළ ගිය ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 293 දක්වා පහත බැස්සවීමට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සමත් වූ බවත් පැවසූ හිටපු මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ ඔහු එය රුපියල් 250 දක්වා අඩුකිරීමට සැලසුම් කර තිබුණු අවස්ථාවේදී 2024 සැප්තෑම්බර් මාසයේදී රටේ පාලන බලය වෙනස්වූ බවයි.
එමෙන්ම කොරෝනා ලෝක වසංගතයට හා ලෝක ආර්ථික අර්බුදයට ලක් වූ කිසිදු රටක් වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළදී ස්ථාවර කිරීමට නොහැකි වූ බවත් පැවසූ රාජිත සේනාරත්න, ශ්‍රී ලංකාව වසර එකහමාරක් වැනි කෙටි කාලයකින් ස්ථාවර කිරීමට හැකි වීම ගැන ඇමරිකාවේ සෙනට් සභාවේ ආර්ථික විශේෂඥයෙකු වන ඩොනල්ඩ් ලූ පවා මවිතයට පත් වූ බවද පවසයි.