''රාජ්‍ය සේවයට නවකයන් බඳවා ගැනීම සහ වැටුප් වැඩි කරන හැටි'' ජනපති නිකවැරටියේදී හෙළි කරයි
ජාතික ජන බලවේග ආණ්ඩුවට වසර දෙකක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති ‘අපේ ආණ්ඩුව – වසර දෙකයි, රටට සුබයි’ තේමාව යටතේ පැවැත්වෙන නිකවැරටිය මහා ජන රැලියට අද (11) සහභාගි වෙමින් ජනාධිපතිවරයා අදහස් පළ කළේය.
එහිදී ලබන වසරේ අධිවේගී මාර්ග තුනක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත්, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සහ රාජ්‍ය සේවයට නවකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා අදහස් පළ කළේය.
“මේ රට ගොඩනඟන්න ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපි දැන් ලබන අවුරුද්දේ විශාල ව්‍යාපෘති ගණනාවක් හදලා තියෙනවා. ලබන අවුරුද්දේ ලංකාවේ පළවෙනි වතාවට එකවර අධිවේගී මාර්ග තුනක් හැදෙනවා. තුනම හදන්නේ ආණ්ඩුව මහජනයාගෙන් එකතු කරගෙන තියෙන බදු මුදල්වලින්, අපේ සල්ලිවලින්. ලංකාවේ එක අධිවේගී මාර්ගයක්වත් හැදුවේ ණය ගන්නේ නැතිව නෙවෙයි. හැබැයි අපි ගලගෙදර ඉඳන් රඹුක්කනට අධිවේගී මාර්ගය හදනවා ආණ්ඩුවේ සල්ලිවලින්. මේ නොවැම්බර් මාසයේ පටන් ගන්න සැලසුම් කරලා තිබෙනවා. කුරුණෑගල–ගලේවෙල අධිවේගී මාර්ගයේ දඹුල්ල දක්වා කොටසත් ආණ්ඩුවේ සල්ලිවලින් හදනවා. ඊළඟට අපි කහතුඩුව-ඉංගිරිය අධිවේගී මාර්ගයත් ආණ්ඩුවේ සල්ලිවලින් හදනවා. ඇයි? මහජනයාගේ සල්ලි භාණ්ඩාගාරයට එනවා. හැබැයි සැලසුම් කරන්න ඕනේ කවුද? මාර්ග සංවර්ධන අධිකාරිය ඇස්තමේන්තු හදන්න ඕනේ, සැලසුම් හදන්න ඕනේ, ටෙන්ඩර් කැඳවන්න ඕනේ. ඒක දේශපාලන අධිකාරියේ වැඩක්, රාජ්‍ය යන්ත්රණයේ වැඩක්. එහෙනම් අපට අවශ්‍ය මොකක්ද? අපට එහෙම නම් ශක්තිමත් රාජ්‍ය සේවයක් ඕනෑ. අපේ දරුවන්ට හොඳට උගන්වන්න හොඳ ගුරු සේවයක් ඕනෑ. අපේ පුරවැසියන්ගේ සෞඛ්‍ය සේවය බලාගන්න, නිරෝගීභාවය බලාගන්න හොඳ සෞඛ්‍ය සේවයක් ඕනෑ. ඒ කියන්නේ රාජ්‍යයට විශාල වැඩකොටසක් තියෙනවා. රාජ්‍ය යන්ත්රණයට විශාල වැඩකොටසක් තියෙනවා. ඒ නිසා අපි ශක්තිමත් රාජ්‍ය අංශයක් ගොඩනැඟීම පිළිබඳව අවධානය යොමු කළා.
අපි ඇවිල්ලා පළමු අයවැය ලේඛනයේම රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කළා. මේ 2027 ජනවාරි මාසයේත් වැටුප් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත්, රුපියල් තිස් අටදහසක් ගත්තු ගුරුවරයෙකුගේ වැටුප රුපියල් හැටපන්දහසට ආසන්න ප්‍රමාණයකින් වැඩි වෙනවා. රුපියල් පනස් දෙදහසක් ගත්තු ආරම්භක වෛද්‍යවරයෙකුගේ වැටුප රුපියල් අනූහතරදහස දක්වා වැඩි වෙනවා. මතක තියාගන්න, අපට හොඳ සෞඛ්‍ය සේවයක් හදන්න නම් හොඳ වැටුප් තලයක ඉන්න වෛද්‍යවරු ඕනෑ. අපේ හෙද කාර්ය මණ්ඩලයට පහසුකම් දෙන්න ඕනෑ. එහෙම නැතිව හදන්න බැහැ නේද? එහෙම නැත්නම් ඒගොල්ලෝ රට අත්හැරලා යන්න පුළුවන්. අපේ හොඳ ගුරුවරුන්ට හොඳ වැටුපක් දෙන්න ඕනෑ, අපේ දරුවන්ට හොඳට උගන්වන්න. ඒ නිසා මේ සේවය අපට වැදගත්. ඒ නිසා අපි හොඳ ශක්තිමත් රාජ්‍ය සේවයක් හදනවා. අපි එනකොට අවුරුදු තුන හතරකින් බඳවාගෙන තිබුණේ නැහැ. අපි දැන් ගිය අවුරුද්දේ අවසාන වශයෙන් තීරණයක් අරගෙන තිබුණා රාජ්‍ය සේවයට එක්ලක්ෂ විසිඑක්දහසක් බඳවා ගන්න. ඒක ඇතුළේ ග්‍රාම නිලධාරී මහත්වරු දෙදහසකට අධික ප්‍රමාණයක් ඉන්නවා. ගුරුවරු විසිතුන්දහසක් ඉන්නවා. පොලිස් නිලධාරීන් දසදහසක් ඉන්නවා. මේ ආදී වශයෙන් රාජ්‍ය සේවයට අලුතෙන් එක්ලක්ෂ විසිඑක්දහසක් බඳවා ගන්නවා. ඒ නිකම් නෙවෙයි. කිසිදු දේශපාලන පත්වීමක් නෙවෙයි. විභාගයක් තියෙනවා. සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙනවා. වැඩිම ලකුණු ගන්න කෙනාට රස්සාව හම්බවෙනවා. ඇයි? අපට ඕනෑ රාජ්‍ය සේවයට හොඳම කෙනා ගන්න. හොඳම කෙනා දේශපාලකයාගේ ලියුමට ගන්න බැහැ. තරග විභාගයක් ලියලා හොඳම කෙනාව අපි බඳවා ගන්නවා. නිකම්ම නෙවෙයි, පුරප්පාඩු සඳහා බඳවා ගන්නේ. නිකම් කාර්යාලවල පුටු නැහැ වාඩි වෙන්න. එහෙම යන්ත්‍රණයක් නෙවෙයි. පුරප්පාඩු සඳහා එක්ලක්ෂ විසිඑක්දහසක් බඳවා ගන්නේ.”