ලක්ෂයක්ව පැවති වරායේ බෝනස් තවත් ඉහළට!
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන්ට ලබාදෙන වාර්ෂික බෝනස් දීමනාව මෙම වසරේදී රුපියල් 60,000කින් වැඩි කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව, මෙතෙක් රුපියල් ලක්ෂයක්ව පැවති බෝනස් මුදල රුපියල් 160,000 දක්වා ඉහළ දමා ඇති බව වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු ගණක හේමචන්ද්‍ර ප්‍රකාශ කළේය.
මෙම රුපියල් 160,000ක බෝනස් මුදලෙන් රුපියල් 80,000ක් අප්‍රේල් මාසයේදී ගෙවීමටත්, ඉතිරි රුපියල් 80,000 දෙසැම්බර් මාසයේදී ගෙවීමටත් සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය. 2024 වසරේදී වරාය අධිකාරිය රුපියල් බිලියන 36ක ලාභයක් උපයා ඇති අතර, එය 2023 වසරට සාපේක්ෂව ඉහළ යෑමක් බවද ඔහු පෙන්වා දුන්නේය.
කොළඹ වරායේ ඉදිකෙරෙමින් පවතින නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් සඳහා මෙම වසරේදී රුපියල් බිලියන 76ක් ආයෝජනය කිරීමට නියමිත බවත්, මෙම මුදල වරාය අධිකාරියේ ඉපැයීම් සහ ඉතිරි මුදල්වලින් වෙන් කර ඇති බවත් ඔහු පැවසීය.
ඒ හේතුවෙන්, උපයන ලාභයෙන් ප්‍රතිශතයක් ලෙස ලාභාංශ බෙදාහැරීමට නොහැකි බවද ඔහු සඳහන් කළේය. වරාය අධිකාරියේ ලාභයෙන් රුපියල් බිලියන 05ක් රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපන කටයුතු සඳහා පළමු වරට ලබාදීමට තීරණය කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. වරාය අධිකාරියේ සේවකයන්ගෙන් සියයට 90කට වැඩි පිරිසකගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 3-4 ඉක්මවන බව ඔහු කීවේය.
සාමාන්‍ය කම්කරුවකු රුපියල් ලක්ෂ 3කට වැඩි වැටුපක් ලබන අතර, සාමාන්‍ය ලිපිකරුවකු අතිකාල දීමනා සමඟ රුපියල් ලක්ෂ 2කට ආසන්න වැටුපක් උපයන බවද ඔහු සඳහන් කළේය. කොළඹ වරායේ JCT පර්යන්තයේ සේවය කරන සාමාන්‍ය සේවකයකු මාසයකට අතිකාල පැය 600-700 අතර ප්‍රමාණයක් වැඩ කරන බවද කළමනාකරණ අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.
ඉරිදා දිනවල අතිකාල පැයකට සාමාන්‍ය ගෙවීම මෙන් තුන් ගුණයක් ගෙවන බවත්, ඒ අනුව පැය 24ක් අතිකාල සේවයේ නිරත වුවහොත් එය පැය 72ක් ලෙස සලකා ගෙවීම් සිදු කරන බවත් ඔහු පැවසීය. දැනට වරාය අධිකාරියේ සේවකයන් 7,558ක් සේවයේ නිරතව සිටින බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වුවත්, වරාය අධිකාරියේ වෘත්තීය සමිති නියෝජිතයන් පවසන්නේ, පෙර වසරවලදී සේවකයකු වසරකට අසනීප නිවාඩු දින 21ක් නොගත්තේ නම් ඒ සඳහා ‘Medical Bonus’ නමින් බෝනස් මුදලක් ලබාදුන් බවත්, වත්මන් පාලනාධිකාරිය එම බෝනස් මුදලට බද්දක් අය කරන බවත්ය.
නමුත්, මෙම බදු අය කිරීම පසුගිය වසරවලදී ද සිදු වූ බව කළමනාකරණ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය. එසේම, වාර්ෂික බෝනස් දීමනාව අප්‍රේල් මස 4 වැනිදා වන විට ගෙවිය යුතු වුවත්, මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් වරාය අධිකාරිය තීරණයක් ගෙන නොමැති බව වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.
