"මම බය නැහැ" - පාප් වහන්සේගෙන් ට්‍රම්ප්ට තද ප්‍රතිචාරයක්
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන ගැටුම පිළිබඳ කළ විවේචනවලට ප්‍රතිචාර දක්වමින් අති උතුම් ලියෝ පාප්වහන්සේ පවසන්නේ තමන් “ට්‍රම්ප් පරිපාලනයට බියක් නැති” බවත් යුද්ධයට එරෙහිව තවදුරටත් හඬ නගන බවත්ය.
අද (13) ඇල්ජීරියාව බලා ගමන් කරන අතරතුර ගුවන් යානය තුළ මාධ්‍යවේදීන් අමතමින් පාප් වහන්සේ සඳහන් කළේ, තමන් දේශපාලන විවාදවලට සෘජුව සම්බන්ධ වීමට අදහස් නොකරන නමුත් සාමය සහ සංවාදය ප්‍රවර්ධනය කිරීම අඛණ්ඩව කරගෙන යන බවයි.
“මම ට්‍රම්ප් පරිපාලනයට බිය නැහැ. මම ශුභාරංචිය ගැන කතා කරනවා. මම දේශපාලනඥයෙක් නෙවෙයි,” යැයි ඔහු ප්‍රකාශ කළ අතර, පවතින ගැටුම් හේතුවෙන් ලෝකයේ බොහෝ ජනතාව දුක් විඳින බවද අවධාරණය කළේය.
ඉරානය සම්බන්ධයෙන් ඇතිව ඇති එක්සත් ජනපද - ඊශ්‍රායල් ගැටුමට එරෙහිව පාප් වහන්සේ ප්‍රකාශ කළ අදහස්වලට ප්‍රතිචාර ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහු “දුර්වල” සහ “විදේශ ප්‍රතිපත්තියට භයානක” ලෙස විවේචනය කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ඉරාන ගැටුම උත්සන්න වීම පිළිබඳව නැවත නැවතත් අනතුරු ඇඟවූ පාප් වහන්සේ, තම ස්ථාවරය දේශපාලනික නොව සාමය, බහුපාර්ශ්වික සංවාදය සහ මානව හිතවාදී පණිවිඩය මත පදනම්ව ඇති බව පැහැදිලි කළේය.
විවේචන නොතකා, යුද්ධයට එරෙහිව හඬ නගමින් රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් සඳහා ඉදිරියටත් කටයුතු කරන බවත්, ලෝකයේ බොහෝ මිනිසුන් මෙවැනි ගැටුම් හේතුවෙන් දුක් විඳින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.