ගෝඨාභය රාජපක්ෂගේ බරපතළ නඩුවක් නිසා පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් - නඩුව පවරන්නේ නැත්තේ ඩීල් එකක් නිසාද?
අද (20) දින පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අඩක් විභාග කළ එහෙත් මුක්තිය නිසා අඬාළ කළ නඩුව යළි පවරන්න වත්මන් රජය කටයුතු කරනවාද? ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කුමක්ද? යන්න සම්බන්ධයෙන් විමසා සිටියා.
" මේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට රජය මුදල් වලින් තමන්ගේ දෙමව්පියන්ගේ සොහොන ඉදිකිරීම ගැන නඩුවක් තිබුණා. ඒ නඩුව අඩක් විභාග වෙනකොට ඒ නඩුව විත්තිකාරයා රෝගී බව කියල විදේශගත වුණ. කාලයක් ඉඳලා ලංකාවට ආවා ඉන් පස්සේ ඔහු ජනාධිපති වුණා. ජනාධිපතිවෙලා පහුවෙනි දවසේ ජනාධිපතිවරයාට තියෙන මුක්තිය අනුව ඒ නඩුව අස්කර ගත්තා. දැන් ඔහුට මුක්තියක් නැහැ. එතකොට ඒ අඩක් විභාග කරපු නඩුව මුක්තිය නිසා නතර කරපු නඩුව ඇයි නැවත ආරම්භ නොකරන්නේ දැන් වසරක් ගතවෙලත්. මේක බරපතළ නඩුවක්. මේ නඩුව නැවත පවරන්න මේ රජය කටයුතු කරනවද නීතිපතිවරයත් එක්ක ඔබ සාකච්ඡා කරනවද? ඒ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ග මොනවාද? "
ඊට පිළිතුරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, ස්ථීර පුද්ගල මහාධිකරණවල වැඩ කෙරෙන බවත් අධිකරණවල කටයුතු නිසි ලෙස සිදුවන බවත් අධිකරණ අමාත්‍යංශය වශයෙන් තමාට සිදු කළ හැක්කේ අවශ්‍ය යටිතල පහසුකම් දීම පමණක් බවත් ඒ සඳහා උසාවි 7ක් දෙන බවත් ය.
එසේම දිනපතා නඩු ඇසීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අනතුරුව අජිත් පී පෙරේරා මහතාගේ දෙවැනි ප්රශ්නය යොමු කරන ලෙස කථානායකවරයා සඳහන් කිරීමත් සමඟ ඔහු සඳහන් කළේ දෙවැනි ප්‍රශ්න ඇසීමට පෙර තමාගේ පළවෙනි ප්‍රශ්නයට නිසි පිළිතුර ලබා දෙන ලෙසයි.
ඒ අනුව අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේ,
" දෙවන ප්රශ්නය අහන්න කලින් පළවෙනි ප්‍රශ්නයට උත්තර දෙන්න. මම ඇහුවේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නඩුව ඉල්ලා අස්කර ගත්තා. ඒ නඩුව නැවත බලනවද නැද්ද? ඒකයි මං ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නයට ඇහුවේ ඒකට උත්තරයක් දෙන්න" එයට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ එම ප්‍රශ්නයට පිළිතුරු ලබා නොදෙන බවයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා නැවත තම දෙවැනි ප්රශ්නය යොමු කරමින් අසා සිටියේ, " හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තවත් විශාල පිරිසකට විරුද්ධව බලගතු ශක්තිමත් දූෂිතයන්ට විරුද්ධව පවරලා ඉල්ලා අස්කර ගත්තු නඩු නැවත පවරනවා කියලා පහුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වුණා. එහෙම නඩු 42ක් තිබුණා. ඇයි දැන් ඒවා පවරන්නේ නැත්තේ බයද? මොකක්ද ඩීල් එකක් තියෙනවද?" යනුවෙන්.
ඊට පිළිතුරු වශයෙන් හර්ෂණ නානායක්කාර මහතා,
" මූලික ප්‍රශ්නයෙන් පැන නගින අතුරු ප්‍රශ්නවලට උත්තර දෙන්න මම බැඳිලා ඉන්නවා. ඒකෙ ගැටළුවක් නැහැ. ඔබ ඇහුවෙ සංඛ්‍යා දත්ත ගැන මිසක් පුද්ගලයින්ගේ නඩු ගැන නෙවෙයි. එනිසා මං ඒකට උත්තර දෙන්නේ නෑ හැබැයි මම එක දෙයක් කියන්නම්. ගෝඨාභය රාජපක්ෂ බලයේ ඉන්නකොට ඒ නමවත් කියන්න බයේ ඇඳන් යට හිටපු කට්ටිය දැන් වීරයෝ වෙන එක තමයි ප්‍රශ්නේ" යනුවෙන් සඳහන් කළා.
ඒත් සමඟ ඊට පාර්ලිමේන්තුවේ විවිධ අදහස් මතුවීමත් සමඟ සභාව තුළ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.