රටම හෙල්ලූ එයාර්බස් නඩුව - කපිල චන්ද්‍රසේනගේගේ බිරිදට විවෘත වරෙන්තුවක්
එයාර්බස් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායකට එරෙහිව ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (15) නියෝග කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
දෙවන සැකකාරියට එරෙහිව දැනටමත් වරෙන්තුවක් නිකුත් කර ඇති බැවින්, එය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රියාමාර්ග සඳහා භාවිත කළ හැකි පරිදි ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා අනුමත කළේය.
එම අවස්ථාවේදී, ප්‍රියංකා නියෝමාලි විජේනායකගේ ඇපකරුවන් ලෙස පෙනී සිටි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංගි අනුෂ්කා ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා, විදේශගත වීමේ අවශ්‍යතාව හේතුවෙන් ඔවුන් ඇප බැඳීම්වලින් නිදහස් කරන ලෙ
ස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම ඇප මුදල රාජසන්තක කිරීමට තම සේවාදායකයන් එකඟ බවද ඔහු අධිකරණයට දැනුම් දුන්නේය. නඩු ගොනුව සමාලෝචනය කළ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, අදාළ ඇප මුදල රුපියල් මිලියන 10ක් නොව රුපියල් මිලියන 20ක් වන අතර, එය රාජසන්තක කිරීමට පෙර ඒ සඳහා හේතු ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.
ඒ අනුව, ඇපකරුවන් දෙදෙනා ඔවුන්ගේ ඇප බැඳීම්වලින් නිදහස් කිරීමටත්, ඇප මුදල් රාජසන්තක කිරීම සඳහා අවශ්‍ය ලිඛිත කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම නඩුව යළි ජූලි 22 වැනිදා කැඳවීමට නියමිත අතර, නඩුවේ පළමු සැකකරු වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මේ වනවිට මියගොස් ඇති බවද අධිකරණයේදී සටහන් විය.