රී බිල්ඩින් ශ්‍රී ලංකා කියල අරමුදලක් නැහැ - හර්ෂගෙන් හෙළිදරව්වක්
රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල (Rebuilding Sri Lanka Fund) අතහැර දමන්න හෝ නීත්‍යානුකූලව හදන්න යැයි මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර තිබේ.
මෙම අදහස පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල පැවැති කාරක සභාවේදී ඔහු විසින් ඉදිරිපත් කරන ලදී. මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට එම අරමුදල සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් ප්‍රකාශ කළේ, තවමත් එවැනි වෙන් වූ ගිණුමක් පිහිටුවා නොමැති බවත්, එය සඳහා ගිණුමක් ඇති කළහොත් ආධාර මුදල් එයට ලැබෙන බවත්ය.
“කරනවා, කරනවා කිව්වා. මාස දෙකහමාරක් තුනක් යන්න අවශ්‍ය නැහැනෙ අරමුදල හදන්න. එක්කෝ ඒ වචන අතහරින්න, නැත්නම් ෆන්ඩ් එක හදන්න”
යැයි සභාපතිවරයා ප්‍රතිචාර දක්වමින් කීවේය.
දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ පවුල් 1,359ක් තවදුරටත් රැඳවුම් මධ්‍යස්ථාන 49ක රැඳී සිටින බවත් මෙම කාරක සභාවේදී අනාවරණය විය.
ආපදාවට ලක්වූ නිවාස පිරිසුදු කිරීම සඳහා රුපියල් 25,000 බැගින් දීමනාව පවුල් 426,063කට ලබාදී ඇති අතර, ඒ සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 10,674කි.
නිවාස යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් 50,000 බැගින් දීමනාව පවුල් 144,377කට ලබාදී ඇති අතර, ඒ වෙනුවෙන් වැය වී ඇත්තේ රුපියල් මිලියන 7,218කි.
සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ සිසුන් 159,271 දෙනාට රුපියල් 15,000 බැගින් ලබාදී ඇති අතර, ඒ සඳහා වැය වී ඇත්තේ රුපියල් මිලියන 2,389කි.
කුලී නිවාසවල පදිංචි වීම වෙනුවෙන් පවුල් 2,763කට රුපියල් මිලියන 165ක් වැය කර ඇත.
මෙම අරමුදල දැනට නීතිමය පදනමක් තුළ පවතින්නේ නැති බවත්, එය පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස ස්ථාපිත කළ යුතු බවත් හර්ෂ ද සිල්වා මහතා පෙරද සඳහන් කර තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැඟීම සඳහා රජය විසින් මෙම අරමුදල ආරම්භ කළ බව ප්‍රකාශ වුවද, එහි ක්රියාත්මකභාවය සහ විනිවිදභාවය සම්බන්ධයෙන් කාරක සභාවේදී බරපතල ප්‍රශ්න එල්ල වී තිබේ.