ඔක්ස්ෆර්ඩ් සංගමය නාමල්ගෙන් සමාව ඉල්ලයි - වෙන දවසක තියමු කියලා පණිවුඩයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා හට ඔක්ස්ෆර්ඩ් සංගමය (Oxford Union) ඇමතීමට නියමිතව තිබූ අවස්ථාව, ආරක්ෂක හේතූන් මත පසු දිනෙක පවත්වන බවට අඳාළ සංගමය මඟින් දැනුම් දී ඇති බව සඳහන්.
ඒ අනුව අදාළ දේශනය පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් සමාව අයැද සිටින ඔක්ස්ෆර්ඩ් සංගමය, පැමිණ සිටින පිරිසගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් එම තීරණය ගත් බව සඳහන් කර ඇත.
එසේම සංගමය නාමල් රාජපක්ෂ මහතා වෙත දන්වා ඇත්තේ එදින මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී දැඩි ආරක්ෂක සහ මෙහෙයුම් අවදානමක් පවතින බවත්, මහා පරිමාණ විරෝධතා සහ බාධා කිරීම් සිදුවන බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇති බවත් ය.
නාමල් ආවොත් අපි අරගල කරනවා - දෙමල සිසුන්ගෙන් නාමල් රාජපක්ෂට විරෝධයක් - ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් නාමල්ගේ දේශන අවලංගු කරයි
ඒ අනුව ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපති කැතරින් යැං (Katherine Yang) මහත්මිය විසින් රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද විද්‍යුත් පණිවුඩයේ සඳහන් වන්නේ,
"පවතින අවදානම් තක්සේරුවට අනුව, අමුත්තන්ගේ, දේශකයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන යෙදීම අදාළ ස්ථානයේ පවතින සීමාවන් තුළ ප්‍රායෝගිකව සිදුකළ නොහැකි මට්ටමක පවතී. එම උපදෙස් මත පදනම්ව සහ සහභාගී වන පිරිසගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් වූ අපගේ වගකීම පෙරදැරිව, මෙම වැඩසටහන වඩාත් ආරක්ෂිතව පැවැත්විය හැකි අනාගත දිනයක් දක්වා කල් තැබීමට අප තීරණය කර ඇත." යනුවෙන්.
එමෙන්ම කේම්බ්‍රිජ් (Cambridge) සහ ඔක්ස්ෆර්ඩ් (Oxford) යන සංගම් දෙකෙහිම ආරාධනයකට අනුව නාමල් රාජපක්ෂ මහතා මේ වන විට එක්සත් රාජධානියේ රැඳී සිටියි.
එසේ වුවත් දමිළ ඩයස්පෝරා කණ්ඩායම්වල දැඩි විරෝධතා නිසා අඳාළ ආරාධිත දේශන මෙසේ ප්‍රමාද වීමට හේතු වී ඇති බව සඳහන්.