ඔන්න දැන් තමයි වෙලාව ආයේ කාටවත් කොමිස් පගා දිදී ඉන්න ඕනේ නෑ ආයෝජන අවස්ථා විවෘතයි - විජිත
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඊයේ දින වත්මන් රජය දූෂණයෙන් තොර බවත් එබැවින් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම සඳහා විදේශීය ආයෝජකයින්ට මෙය ඉතා සුදුසු කාලයක් බවත් පවසා ඇත.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික සභා ගෝලීය සම්මේලනයේ (GFSLBC) සමාරම්භක වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින්.
ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දේශපාලනඥයින්ට කොමිස් මුදල් හෝ අල්ලස් ලබා දීමකින් තොරව ආයෝජකයින්ට දැන් තම ව්‍යාපාර කටයුතු ආරම්භ කළ හැකි බවයි.
එසේම ජනතාවට තම විදේශ විනිමය මෙරට තුළ ආයෝජනය කළ හැකි බවත් සඳහන් කර ඇත.
මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ආයෝජකයින්ට වන බදු සහන ඉක්මනින් ලබා දිය නොහැකි බවත්, එයට යම් කාලයක් ගතවනු ඇති බවත් ය.
නව රජය බලයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්ත්වය වඩාත් ස්ථාවර වී ඇති වුවද එය පූර්ණ ස්ථාවරත්වයක් නොවන බව පිළිගත් අමාත්‍යවරයා පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව දූෂණය සහ සොරකම් අඩු වී ඇති බව කියයි.
එමෙන්ම රට වෙනස් කර ජනතා ජීවිතය නගා සිටුවීමට රජය දැඩි උත්සාහයක් දැරුවද එය තනිව කළ හැක්කක් නොවන බැවින් එයට ව්‍යාපාරික ප්‍රජාවේ සහ මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කර ඇත.
තවද ශ්‍රී ලාංකික ව්‍යාපාරික සභා ගෝලීය සම්මේලනයේ මෙම සමාරම්භක වාර්ෂික මහා සභා රැස්වීමේදී, එහි ප්‍රථම විධායක කමිටුවද නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
