මේ නිලධාරිනියන්ට සුබ ආරංචියක් - ජනවාරියේ වැටුප් වැඩිවීමක්
ඉදිරියේදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවා කටයුතු වෙනුවෙන් යතුරුපැදි ලබාදීමටත්, එළඹෙන ජනවාරි මාසයේ නියමිත වැටුප් වැඩිවීම ලබාදීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ නිලධාරිනියන් 275 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට අද (26) දින එක්වෙමින්.
මෙම උත්සවය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත් විය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, රටේ ආර්ථිකය මේ වනවිට ස්ථාවර මට්ටමකට ගෙන යමින් සිටින අතර, පවතින ගෝලීය අර්බුද හමුවේ වුවද ජනතාවට අමතර බරක් නොදෙමින් ආර්ථිකය කළමනාකරණය කිරීමට රජය කටයුතු කරන බවයි.
මේ අතර මෙම පුහුණුව ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය ආයතනයේ සම්බන්ධීකරණයෙන් රට පුරා පිහිටි පුහුණු මධ්‍යස්ථාන 11කදී පවත්වා ඇත.
එමෙන්ම මෙම නිලධාරිනියන්ට මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය, සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ ක්ෂේත්‍ර රාජකාරී අධීක්ෂණය ඇතුළු වගකීම් පැවරී ඇති බව සඳහන්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙවර ලෝක සෞඛ්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවට විශේෂ ඇගයීමක් හිමිවූ බවත්, එහි ගෞරවයෙන් විශාල කොටසක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ කැපවීම හේතුවෙන් ලැබුණු බවත් සඳහන් කළා.