මැලේසියාවෙන් ආයෝජන රැල්ලක්
කොළඹ – මැලේසියාවේ පිනෑන්ග් හි පිහිටි මැලේසියානු ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ ආයෝජක පිරිසක් මෙරටට පැමිණ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සොයා බැලීමට සුවිශේෂී සංචාරයක නිරත වී තිබේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සංචාරයක නිරත වූ මෙම මැලේසියානු ඉන්දීය ආයෝජක කණ්ඩායම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, බැංකු හා මූල්‍ය සේවා, අගය එකතු කළ කෘෂිකර්මාන්තය, පතල් කැණීම් ඇතුළු ක්ෂේත්‍ර රැසක නියෝජිතයන්ගෙන් සමන්විත වේ.
මෙම සාකච්ඡාවට නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ වරාය නගරය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඇතුළු ප්‍රමුඛ ආයතන හා අමාත්‍යාංශ නියෝජිතයන් එක්ව සිටියහ. මැලේසියානු ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය මැලේසියාවේ ප්‍රාන්ත මට්ටමේ ඉන්දීය වාණිජ මණ්ඩලවල එකතුවක් වන අතර, මෙම සංචාරය මගින් ශ්‍රී ලංකාව සමඟ ව්‍යාපාරික සහ ආයෝජන සහයෝගීතා වැඩිදියුණු කිරීම ඉලක්ක කරගෙන ඇත.