මහින්ද රාජපක්ෂ හිටපු ගෙදර වතුර ලයිට් කපයි?
පෙරේදා (07) දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි කොළඹ 07, විජේරාම මාවතේ නිවසේ විදුලි හා ජල බිල්පත් හිඟයක් තිබීම හේතුවෙන් විදුලි සහ ජල සම්පාදන සම්බන්ධතා විසන්ධි කිරීමට කටයුතු කර ඇත.
නිවසේ රුපියල් ලක්ෂයක හිඟ විදුලි බිල්පතක් ඇති නිසා විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීමටත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් ජල සම්බන්ධතාව විසන්ධි කිරීමටත් ගොස් තිබේ.
නමුත් එහි ආරක්ෂක අංශ නිලධාරීන් පමණක් සිටින බැවින් ආපසු හැරී පැමිණ ඇති බව වාර්තා වේ. එම නිවසේ රුපියල් ලක්ෂ 6ක හිඟ ජල බිල්පතක් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතාගෙන් ‘දිනමිණ’ පුවත්පතට පවසා ඇත.
ඒ අනුව පෙරේදා (07) විජේරාම මාවතේ පිහිටි නිවසේ හිඟ බිල්පත් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය අනුව ජලය අත්හිටුවම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයන් එහි ගොස් ඇත.
නිවසේ ආරක්ෂාවට රඳවා සිටින පොලිස් නිලධාරීන් ජල බිල්පත් හිඟය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව සඳහන් කර ඇති හෙයින් එම නිවසේ ජල සැපයුම අත්හිටුවීමට මණ්ඩලය පියවර ගෙන නොමැති බව ද සභාපතිවරයා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ කර ඇත්තේ විජේරාම මාවතේ පිහිටි නිවස මෙතෙක් නිල වශයෙන් භාරදී නොමැති අතර රජයට අයත් භාණ්ඩ ලේඛන පරීක්ෂකර ඒවා වෙන් කරගැනීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාට අයත් භාණ්ඩ ඉවත් කරගැනීමෙන් පසුව නිවස නිල වශයෙන් භාරදෙන බවයි.
විජේරාම මාවතේ පිහිටි නිවසේ ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් භාණ්ඩ ඇති බවත් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් පැමිණ ජනාධිපති කාර්යාලයට අයත් භාණ්ඩ ලැයිස්තුගත කර ඇති බවත් සදහන් වේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමට පෙර භාවිත කර ඇත්තේ මෙම නිවසය. මෙම නිවසේ ඔහු රැඳී සිටින විට තිබුණු රජයේ භාණ්ඩ ද තවමත් ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් ඒ සම්බන්ධයෙන් ද සොයා බැලීමක් සිදු වනු ඇත.
මහින්ද රාජපක්ෂ මහතා මෙම නිවසින් ඉවත්ව ගිය ද තවමත් නිල වශයෙන් නිවස භාරදී නොමැති බැවින් නිල වශයෙන් භාර දෙන දිනය දක්වා ඇති විදුලි සහ ජල බිල්පත් ද ගෙවීමට සිදු වනු ඇත.
එබැවින් මෙම නිවස ඉතා ඉක්මනින්ම භාර ගැනීමට රජය කටයුතු කරනු ඇතැයි මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ඉල්ලා සිටියි.