කැලණි ගඟ අයිනේ ඉන්න අය වහාම සූදානම් වෙන්න - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිකුත් වූ හදිසි නිවේදනය
කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය යන ප්‍රදේශ ආශ්‍රිතව මෙම තත්ත්වය බලපානු ඇති බවයි.
කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වනවිට මිලිමීටර් 300කට ආසන්න සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවද වාර්තා වේ.
එමෙන්ම, ගංගා ජල මාපකවල ජල මට්ටම් සහ පවතින වර්ෂා තත්ත්වයන් විශ්ලේෂණය කිරීමෙන් පසු ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්, රියදුරන් සහ මාර්ග භාවිත කරන ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසද දැනුම් දී තිබේ.