ක්‍රිකට් ලෝකයම හොල්ලමින් ජෝ රූට් තැබූ සුපිරි ලෝක වාර්තාව මෙන්න

Report

එංගලන්තය සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙමින් තිබේ.

තරගයේ සිව්වන දිනය අවසන් වන විට නවසීලන්ත කණ්ඩායම එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 463ක දැවැන්ත ඉලක්කයක් ලබා දී ඇත.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින අතර, මෙම තරගයේදී එංගලන්තයේ සුපිරි පිතිකරු ජෝ රූට් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 14,000 සම්පූර්ණ කළ දෙවන පිතිකරුවා බවට පත්විය.

ඔහු මෙම සුවිශේෂී සන්ධිස්ථානයට ළඟා වූයේ නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනයේදී සිය දෙවන ලකුණ වාර්තා කිරීමත් සමඟය.

ජෝ රූට් සිය 165 වැනි ටෙස්ට් තරගයේ (ඉනිම් 302) දී මෙම වාර්තාවට හිමිකම් කියූ අතර, මේ දක්වා ටෙස්ට් ශතක 41ක් සහ අර්ධ ශතක 66ක් රැස් කරගෙන ඇත.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වන ඉන්දීය ක්‍රිකට් දැවැන්තයා සචින් තෙන්ඩුල්කාර්ගේ ලකුණු 15,921ක වාර්තාව අභිබවා යාම සඳහා ජෝ රූට්ට තවත් ලකුණු 1,921ක් අවශ්‍ය වේ.

සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් තරග 200කදී ලකුණු 15,921ක් රැස් කර ඇති අතර, එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන්නේ හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින්ය. ඔහු ටෙස්ට් තරග 168කදී ලකුණු 13,378ක් ලබාගෙන ඇත. දකුණු අප්‍රිකාවේ ජැක් කලිස් ටෙස්ට් තරග 166කදී ලකුණු 13,289ක් රැස් කර ඇති අතර, ඉන්දියාවේ රාහුල් ඩ්‍රාවිඩ් තරග 164කදී ලකුණු 13,288ක් වාර්තා කර තිබේ.