දැඩි කනස්සල්ලක් ඇති කරමින් IPL විකාශනය මේ රටේ තහනම් - ශ්‍රී ලංකාවෙනුත් ඉල්ලීමක්
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය බංග්ලාදේශය තුළ විකාශනය කිරීම තහනම් කිරීමට එරට රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු ක්‍රීඩකයෙකු වන මුස්තාෆිසුර් රහ්මාන් IPL තරගාවලියෙන් ඉවත් කිරීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් තීරණයට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන්. BCCI ගත් මෙම තීරණය බංග්ලාදේශ ජනතාව අතර දැඩි කනස්සල්ලක් ඇති කර තිබෙනවා.
කෙසේ වෙතත් මුස්තාෆිසුර් රහ්මාන් IPL තරගාවලියෙන් ඉවත් කිරීමට හේතුවක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බවද පවසයි.
මේ අතර විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම සිදුවීම බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ක්‍රීඩා සබඳතා තුළ නව උණුසුම් තත්ත්වයක් උද්ගත කළ හැකි බවයි.
එමෙන්ම එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත තරග සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කර ඇති බව ‘Cricinfo’ වෙබ් අඩවිය දක්වයි.
ඒ අනුව දෙරට අතර පවතින දේශපාලනික නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ, බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද පෙන්වා දෙයි.
මේ අතර එම තරගාවලියේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත බංග්ලාදේශ තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ද ඉල්ලීමක් කර ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය යටතේ ලබන මාසයේ ආරම්භ වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී, බංග්ලාදේශ කණ්ඩායම කොල්කටාහිදී තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.
එසේම ඉදිරියේදී පැවැත්වෙන IPL තරගාවලියේදී කොල්කටා කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටි මුස්තාෆිසුර් රහ්මාන් හදිසියේම කණ්ඩායමෙන් නිදහස් කිරීම මෙම නොසන්සුන්තාවට ප්‍රධාන ලෙස බලපා ඇති බව පවසයි.
එමෙන්ම බංග්ලාදේශයේ වෙසෙන සුළු ජාතීන්ට සිදුවන බවට වාර්තා වන හිරිහැරවලට විරෝධය පළ කිරීමක් වශයෙන් මුස්තාෆිසුර් රහ්මාන් එසේ ඉවත් කර ඇති බවටද වාර්තා පළවෙන බව සඳහන්.