දකුණු ආසියාවම බලන් හිටපු ආරංචියක් - ඉබෝලා වෛරසය අසාදනය වූ බව සැක කල කාන්තාවගේ අලුත්ම තත්ත්වය මෙන්න
ඉබෝලා වෛරසය අසාදනය වී ඇතැයි යන සැකය මත ඉන්දියාවේ බැංගලෝර් නුවරදී නිරෝධායනයට යොමු කළ උගන්ඩා ජාතික කාන්තාවට එම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.
ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, පරීක්ෂණවලින් ඒ බව තහවුරු වී ඇති බවයි. ඉන්දියාව තුළ මෙතෙක් කිසිදු ඉබෝලා වෛරස් ආසාදිතයෙකු ස්ථිරවම වාර්තා වී නොමැති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ශරීර වේදනාව ඇතුළු සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කළ 28 හැවිරිදි මෙම කාන්තාව, ඊයේ (26) හෝටලයක සිට රජයේ බෝවන රෝග රෝහල (Epidemic Diseases Hospital) වෙත මාරු කර යවා තිබුණි.
ඇයගෙන් ලබාගත් සාම්පලයක් පරීක්ෂණ කටයුතු සඳහා පූනේහි පිහිටි ජාතික විෂවේද ආයතනය (National Institute of Virology) වෙත යවා ඇති අතර, එහි ප්‍රතිඵල මගින් ඇයට ඉබෝලා වෛරස් රෝගය වැළඳී නොමැති බව තහවුරු වී ඇතැයි නිලධාරීන් පවසා තිබේ.
අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවලින් මෑතකදී වාර්තා වූ ඉබෝලා ව්‍යාප්තියත් සමග, ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ අදාළ ප්‍රාන්ත බලධාරීන් සමග ඒකාබද්ධව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මාර්ගෝපදේශයන්ට අනුකූලව සමීප නිරීක්ෂණ කටයුතු සහ අවශ්‍ය සියලුම මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බවයි.
මේ පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත්, අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසත්, තොරතුරු ලබා ගැනීම සඳහා නිල මූලාශ්‍ර කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත්, ඉන්දීය රජය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.