රටම හොල්ලන එල් නිනෝ නිසා ලංකාවට වෙන්න යන විනාසේ - අවදානමෙන් මේ අය බේරගන්න ජනපතිගෙන් සැලසුම් රැසක්
එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇත.
ඒ අනුව මේ වන විට බලපා ඇති එල්-නිනෝ තත්ත්වය හමුවේ මතුව ඇති ගැටලු විසඳා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳවත්, ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සහ අනෙකුත් ජල අවශ්‍යතා මෙන්ම කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවත් ජනාධිපතිවරයා මෙහිදී විමසා බලා තිබෙනවා.
ඉකුත් යල කන්නයේදී පූර්ව සූදානමකින් යුතුව වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් වගා හානි අඩු මට්ටමක පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන් අතර ජනතාවගේ පානිය ජල අවශ්‍යතාව සහ සෙසු ජල අවශ්‍යතා සපුරාලීමට පියවර ගනිමින් සිටින බවද පවසා ඇත.
එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී නැවතත් මුළු දිවයිනටම දැඩි වියළි කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබෙන අතර එම බලපෑම හමුවේ කෘෂිකර්මාන්තයට, වැවිලි කර්මාන්තයට, මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට මෙන්ම ජල සහ විදුලිබල සැපයුමට එල්ලවිය හැකි බලපෑම සහ එම තත්ත්වයට මුහුණ දීම සඳහා සකස් කර ඇති සැලසුම් පිළිබඳවදවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බලා තිබෙනවා.
තවද බලපෑමට ලක් විය හැකි කාලසීමාව තුළ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙන්ම, ආපදාවෙන් පීඩාවට පත් වන ජනතාවගේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන තෙක් ඔවුන් රැකබලා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ අංශය සමඟ ඒකාබද්ධව එම කටයුතු සැලසුම් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මේ වන විට ප්‍රධාන ජලාශවල පවතින ජල ධාරිතාව, අඛණ්ඩ පානීය ජල සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම මෙන්ම ඉදිරි වගා සැලසුම් සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසූ අතර ප්‍රධාන ජලාශ, සුළු වාරිමාර්ග සහ කුඩා වැව් මඟින් ජලය සපයන නිශ්චිත පාරිභෝගික ප්‍රතිශතයන් පිළිබඳව පැහැදිලි දත්ත පද්ධතියක් තිබීමේ අවශ්‍යතාව සහ වියළි කාලගුණයෙන් වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රදේශ කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.
එසේම ජල කප්පාදුවක් කිරීමට සිදු වුවහොත්, ජලාශ සම්පූර්ණයෙන්ම හිඳෙන තෙක් නොසිට, එම ප්‍රදේශවල ජනතාව සමඟ කතා කර ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
එමෙන්ම වැව්, ගංගා සහ ඔයවල් සම්පූර්ණයෙන්ම සිඳී යන ප්‍රදේශ හඳුනාගත යුතු බවත්, එවැනි ස්ථානවල ජීවත් වන ජනතාවට බීමට පමණක් නොව, අනෙකුත් දෛනික අවශ්‍යතා සඳහාද ජලය සැපයීමට සිදුවන බැවින් ඒ පිළිබඳ අවදානම සිතියම්ගත කර සූදානම් වීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර ප්‍රයෝජනයට ගත නොහැකි මට්ටමේ පවතින ජල මූලාශ්‍ර සුද්ධ පවිත්‍ර කර ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවසර ලබා දීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.
ඔක්තෝබර් මාසයේ ලැබෙන පළමු වර්ෂාවත් සමඟම, ජලාශවලින් ජලය නිකුත් කරන තෙක් නොසිට වර්ෂා ජලය උපයෝගී කරගෙන බිම් සකස් කිරීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව මෙහිදී සඳහන් කෙරුණු අතර එහිදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය ඒකාබද්ධ සැලැස්මකට අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපති අනුර කුමාර මහතා පෙන්වා දුන්නා.
එසේම ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය බිත්තර වී සහ පොහොර සැපයීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපතිවරයා විමසා බලා තිබුණා.
එල්-නිනෝ බලපෑම හමුවේ මිරිදිය ධීවර කර්මාන්තයට සහ මත්ස්‍ය නිෂ්පාදනයට එල්ලවිය හැකි බලපෑම සහ ඒ වෙනුවෙන් වූ පූර්ව සූදානම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර පීඩාවට පත්වන ධීවර ප්‍රජාවගේ ජීවනෝපායමාර්ග යථා තත්ත්වයට පත් වන තෙක් ඔවුන් රැක බලා ගැනීම වෙනුවෙන් වූ වැඩසටහන් සැලසුම් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
රටේම බැංකු පාරිභෝගිකයන් බිය වැද්දූ බිලියන 13ක වංචාව - මේ බැංකුවේ පාරිභෝගික ගිණුම්වලිනුත් මිලියන 314.5ක මුදලක් උස්සපු බව එළි වෙයි
වැවිලි කර්මාන්තයට එල්ල විය හැකි බලපෑම සහ එම තත්ත්වයට මුහුණ දීම සඳහා සකස් කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවත්, වනජිවී කලාපවල වන සතුන්ගේ ජල අවශ්‍යතා සපුරාලීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වූ අතර එළැඹෙන ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ වන වර්ෂාපතනයේදී උපරිම ජල ධාරිතාවක් රැස් කර ගැනීම සඳහා වාරිමාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණයට ලක් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
ඒ අනුව මෙම වසර තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සහ ලබන වසරේ පෙබරවාරි-අප්‍රේල් කාලයේ ජලාශ සිඳී යාම හේතුවෙන් ඇතිවිය හැකි බලශක්ති අවදානමට මුහුණ දීමට සාමාන්‍ය අවශ්‍යතාවට වඩා වැඩි අතිරික්ත විදුලි ධාරිතාවක් සැලසුම් සහගතව පවත්වා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, බලශක්ති අමාත්‍ය සහ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලෙන්තිරාජා, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු කේ. වැලිගෙපොලගේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්නගේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ යන මහත්වරු ඇතුළු කමිටු සාමාජිකයෝ රැස විය.