මධ්‍යම අධිවේගයට චීන දුන්න ණයට දැන් වැඩි පොලිය
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටස ඉදිකිරීම සඳහා ලබා ගැනීමට අපේක්ෂිත ණය මුදල් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී 2025 ජූනි 30 වැනිදා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කෙරිණි.
මෙම රැස්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවැත්විණි.
මෙහිදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් පැවසුවේ, කඩවත-මීරිගම කොටසේ දිග කිලෝමීටර් 36.475ක් වන අතර, එහි ඉදිකිරීම් අවසන් කිරීම සඳහා චීනයේ EXIM බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා ගැනීමටත්, ඉතිරි මුදල දේශීයව සපයා ගැනීමටත් සැලසුම් කර ඇති බවයි.
චීන EXIM බැංකුවෙන් ලබා ගන්නා ණය මුදලට අදාළ පොලී අනුපාතය පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි. සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කළේ, මුලින් ස්ථාවර පොලී අනුපාතය 2.5%ක් වූවත්, එය 3.5%ක ඉහළ පරාසයකට එකඟ වූයේ මන්දැයි යන්නයි.
නිලධාරීන් පැවසුවේ, වත්මන් වෙළෙඳපොළ තත්ත්වයන් යටතේ 2.5%ක පොලී අනුපාතයකට ණය ලබා දීමට EXIM බැංකුව එකඟ නොවූ බවත්, ඒ අනුව විචල්‍ය (variable) පොලී අනුපාතයක උපරිම 3.5%කට එකඟ වූ බවත්ය. එම පොලී අනුපාතය තවදුරටත් සාකච්ඡා මගින් අඩු කර ගැනීමට අපේක්ෂා කරන බවද ඔවුන් සඳහන් කළහ.
කෙසේ වුවත්, සභාපතිවරයා අවධාරණය කළේ, මෙම ඉහළ පොලී අනුපාතය ශ්‍රී ලංකාවට අවාසිදායක බවත්, එය නැවත සලකා බැලිය යුතු බවත්ය.
මේ අතර, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාගෙන ඇති ණය මුදල්වලින් කොටසක් ගෙවීම සඳහා 2025 වර්ෂයට අදාළ පරිපූරක ඇස්තමේන්තු ද කාරක සභාවේදී සලකා බලන ලදී. මෙම ඇස්තමේන්තු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.