පිළිකාවට තිත - පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් කොළඹ සරසවියෙන්
පිළිකාව යනු 100කටත් වැඩි රෝග ගණනාවක එකතුවකට ඇති පොදු නමකි. ඕනෑම පිළිකාවක් ඇතිවන්නේ අසාමාන්‍ය සෛල පාලනයෙන් තොරව වර්ධනය වීමෙනි. ප්‍රතිකාර නොකිරීමෙන් බරපතළ තත්ත්වයට සහ මරණයට වුව ද පත්විය හැකිය.
එවැනි පසුබිමක පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් සොයාගැනීමට කොළඹ සරසවියේ ජෛව රසායන, අණුක ජීවවිද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය සමත්වී තිබේ.
මිනිස් ශරීරයේ කොටසක අසාමාන්‍ය සෛල පාලනයකින් තොරව වර්ධනයවීම පිළිකාවක් ලෙස හැඳින්වෙන අතර එය මුල් අවස්ථාවේ හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් මරණය පවා ගෙනදිය හැකිය.
ගෝලීය වශයෙන් ගත්කළ වසරකට මිලියන 10කට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් පිළිකාව හේතුවෙන් මරණයට පත්වන අතර ශ්‍රී ලංකාවේ වසරකට පිළිකාව හේතුවෙන් මියයන පුද්ගලයින් සංඛ්‍යාව 15,000 ත් - 20,000ත් අතර වෙයි. මෙම තත්ත්වය හමුවේ ගෝලීය වශයෙන් මෙන්ම දේශියවද දිනෙන් දින පිළිකාව පැතිරයාමේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර ඊට සමගාමීව පිළිකාවට එරෙහිව කටයුතු කිරීමේ අවශ්‍යතාවය කෙරෙහිද ලෝකයේම අවධානය යොමුවී තිබේ.
ඒ අනුව පිළිකාවට එරෙහිව ගෝලිය වශයෙන් සිදුකෙරෙන සටනේ වැදගත් සංධිස්ථානයක් සනිටුවන් කරමින් එන්ටරොමික්ස් නමින් සාර්ථක පිළිකා එන්නතක් නිෂ්පාදනය කිරීමට තමන් සමත් වූ බව රුසියාව පසුගියදා නිවේදනය කළේය.
මෙවැනි පසුබිමක 2008 වසරේ සිට වසර 17කට ආසන්න කාලයක් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් සොයාගැනීමට කොළඹ සරසවියේ ජෛව රසායන, අණුක ජීවවිද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය සමත්වී තිබේ.
අණුක ජීවවේදය සහ ජාල ඖෂධවේදය වැනි නවීන විද්‍යාත්මක ක්‍රම භාවිත කරමින් පිළිකා සෛල නසන මෙම පෝෂක ඖෂධය සාදා ඇත්තේ ඖෂධීය ශාක 05ක් භාවිත කරමිනි.
මහාචාර්ය සමීර ආර්. සමරකෝන් ඇතුළු පරීක්ෂණයට සම්බන්ධ වූ පිරිස පවසන්නේ, වර්නෝනියා සෙයිලනිකා ( Vernonia zeylanica), නිගෙලා සටීවා (Nigella sativa), හෙමයිඩෙස්මන් ඉන්ඩිකස් (Hemidesmus indicus), ලුකාස් සෙයිලනිකා (Leucas zeylanica) සහ ස්මිලැක්ස් ග්ලැබ්රා (Smilax glabra) යන ශාකවලින් ලබාගත් ඖෂධ සම්මිශ්‍රණයකින් මෙලෙස පිළිකා සෛල විනාශ කළ හැකි බවය.