ලෝකයක් ආදරය කළ ඉම්රාන් ඛාන් වෛද්‍ය පරීක්ෂාවෙන් පසු යළි බන්ධනාගාරයට
ලෝකයක් ආදරය කළ ඉම්රාන් ඛාන් වෛද්‍ය පරීක්ෂාවෙන් පසු යළි බන්ධනාගාරයට පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෛද්‍ය පරීක්ෂාවක් සඳහා ඉස්ලාමාබාද්හි Shifa International රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව යළි Adiala බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඉම්රාන් ඛාන්ගේ පක්ෂය වන Pakistan Tehreek-e-Insaf (PTI) පක්ෂයේ ප්‍රකාශකයෙකු මේ බව තහවුරු කර ඇති අතර, වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව ඔහු බන්ධනාගාරයේ රඳවා තැබීමට තරම් සෞඛ්‍ය තත්ත්වයක සිටින බව වෛද්‍යවරුන් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඇස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු, හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති බව පාකිස්තාන තොරතුරු අමාත්‍ය Attaullah Tarar සඳහන් කර තිබෙනවා.
73 හැවිරිදි ඉම්රාන් ඛාන් රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මතුවූ ගැටලු හේතුවෙන් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.
ඔහුගේ නීතිඥයන් පවසා ඇත්තේ බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති අතර, දකුණු ඇසේ පෙනීමද සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවයි. ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට බන්ධනාගාරගතව සිටින අතර, තමන්ට එරෙහිව පවරා ඇති නඩු දේශපාලනික අරමුණු මත ක්‍රියාත්මක වන බවට ඔහු චෝදනා කරනවා.
කෙසේ වෙතත්, පාකිස්තාන රජය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව ඔහුව පැය 48ක් ඇතුළත Shifa International රෝහල වෙත මාරු කර, ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා ඇතුළු වෛද්‍ය මණ්ඩලයකට ප්‍රතිකාර ලබාදීමට අවස්ථාව සලසා දිය යුතු බවට නියෝග කර තිබුණා.
මේ අතර, ඉම්රාන් ඛාන් රෝහල වෙත රැගෙන යාම සම්බන්ධයෙන් පාකිස්තාන රජයේ නීති අමාත්‍ය Azam Nazeer Tarar විරෝධය පළ කර ඇති අතර, වරදකරුවෙකු ලෙස බන්ධනාගාරගත කර ඇති පුද්ගලයෙකුට නීතියට අනුව බන්ධනාගාරය තුළ හෝ රජයේ රෝහලකදී ප්‍රතිකාර ලබාදිය හැකි බව ඔහු සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඉම්රාන් ඛාන් රෝහලට ඇතුළත් නොකළහොත් අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක් ගොනු කරන බවට PTI පක්ෂය අනතුරු ඇඟවීමෙන් අනතුරුව ඔහුව රෝහල වෙත රැගෙන ගොස් ඇති බවද වාර්තා වනවා.
රෝහලේ කෙටි කාලයක් රැඳී සිටි අතරතුර PTI ආධාරකරුවන් විශාල පිරිසක් රෝහල ආසන්නයට රැස්ව සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. වෛද්‍ය පරීක්ෂාව අවසන් කිරීමෙන් අනතුරුව දැඩි ආරක්ෂක රැකවරණයක් යටතේ ඉම්රාන් ඛාන් යළි Adiala බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර, මේ වනවිට ඔහු සිය සිරකුටිය වෙත යොමු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.