බැකෝ සමන්ගේ මස්සිනාට දින 07ක රැඳවුම් නියෝග
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'බැකෝ සමන්' නැමැත්තාගෙන් හෙළිවූ තොරතුරු මත ඔහුගේ මස්සිනා දින 07කට රඳවා තබාගෙන විමර්ශනය කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබාදී තිබේ.
අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවා දින 07ක රඳවුම් නියෝගය මත බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට රඳවා තබාගැනීමට අවසර ලබාදී ඇති බව පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.
විදේශගතව සිටියදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරු නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න නොහොත් 'බැකෝ සමන්'ගෙන් සිදුකළ ප්‍රශ්නාවලියේදී හෙළිවූ තොරතුරු මත ඔහුගේ මස්සිනා පසුගිය මස 1 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී සැකකරු සතුව සිටි මත්ද්‍රව්‍ය සහ මෝටර් රථයක්ද පොලිසිය භාරයට ගෙන ඇති අතර, සැකකරුවා වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.
අත්අඩංගුවට ගත් 27 හැවිරිදි සැකකරුවා මිද්දෙණිය වැලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්නාවලියේදී අදාළ ප්‍රදේශයේ සඟවා තිබූ පිස්තෝල් අවියක්, පතරොම් 01ක් සහ හෙරොයින් ග්‍රෑම් 550ක් සොයාගෙන තිබේ.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් පවසයි.