විගණකාධිපතිවරියගේ වැටුපට පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි
විගණකාධිපති ධුරයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව විගණකාධිපතිවරියගේ වැටුප අනුමත කිරීමට පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 04 වනදා පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(2) වගන්තිය අනුව විගණකාධිපති ධුරයේ වැටුප සම්බන්ධ යෝජනාව කාරක සභාවේ අවධානයට යොමු කර තිබුණි.
එහිදී විගණකාධිපතිවරියගේ වගකීම්, රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය සහ විගණන ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් වැටුප් මට්ටම පිළිබඳව කාරක සභා සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් අදහස් හා යෝජනා ඉදිරිපත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 වන වගන්තිය අනුව විගණකාධිපතිවරයා රාජ්‍ය සේවකයෙකු නොවන බැවින්, පවතින රාජ්‍ය වැටුප් පරිමාණයන්ගෙන් බැහැරව එම ධුරය සඳහා විශේෂ සැලකිල්ලක් යොමු කළ හැකි බවද කාරක සභාව සඳහන් කර ඇත.
අදාළ වැටුප් මට්ටම තීරණය කිරීමේදී මීට පෙර සිටි විගණකාධිපතිවරුන්ගේ වැටුප් ද සැලකිල්ලට ගත් බව නිලධාරීන් විසින් කාරක සභාවට දැනුම් දී තිබේ.
කෙසේ වෙතත්, විගණකාධිපති ධුරයට පැවරී ඇති වගකීම් සහ කාර්යභාරය සැලකිල්ලට ගනිමින් එම වැටුප තවදුරටත් ඉහළ මට්ටමක පැවතිය යුතු බවට කාරක සභා සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.
එමෙන්ම, වැටුප් හා සේවක සංඛ්‍යා සම්බන්ධයෙන් ස්ථිර සහ ස්වාධීන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද කාරක සභා සභාපතිවරයා විසින් පෙන්වා දී ඇත.