හැඳුනුම්පත ළඟ නැත්නම් පොලීසියට අත්අඩංගුවට ගන්න පුළුවන්ද? මෙන්න නීතියේ ඇත්තම කතාව
1968 අංක 32 දරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත (Registration of Persons Act) සහ පොලිස් ආඥාපනත (Police Ordinance) අනුව, පොලිස් නිලධාරියෙකුට රාජකාරිමය අවශ්‍යතාවයක් මත උදාහරණයක් ලෙස වරදක් වැළැක්වීම, විමර්ශනයක් සිදු කිරීම හෝ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා—පුද්ගලයෙකුගේ අනන්‍යතාවය විමසීමට බලය ඇත.
බොහෝ දෙනා අතර පවතින මතයක් වන්නේ ජාතික හැඳුනුම්පත (NIC) ළඟ නොතිබීම පමණක්ම අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් හේතුවක් බවයි. නමුත් නීතිය අනුව, හැඳුනුම්පත ළඟ නොතිබීම පමණක් ස්වාධීන සාපරාධී වරදක් නොවේ.
කෙසේ වෙතත්, වෙනත් සාධාරණ සැකයක් පවතින අවස්ථාවක, හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම එම සැකය තහවුරු කිරීමට බලපාන කරුණක් විය හැකි අතර, ඒ අනුව පොලිසියට නීතියෙන් ලබාදී ඇති බලතල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හැකිය.
නම සහ ලිපිනය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළොත්? අපරාධ නඩු විධාන සංග්‍රහයේ 33 වන වගන්තිය අනුව, යම් පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත නොහැකි වරදක් (Non-cognizable Offence) කළ බවට චෝදනා ලැබ ඇති අවස්ථාවක, පොලිස් නිලධාරියෙකු ඉල්ලා සිටින විට තම නම සහ ලිපිනය ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, හෝ අසත්‍ය තොරතුරු ලබා දෙන්නේ නම්, එම පුද්ගලයාගේ අනන්‍යතාවය සහ පදිංචිය තහවුරු කර ගැනීම සඳහා වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය ඇත.
මෙහි වැදගත් නීතිමය කරුණ වන්නේ, එවැනි අත්අඩංගුවට ගැනීමේ අරමුණ පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම බවයි.
අනන්‍යතාවය සහ ලිපිනය නිවැරදිව තහවුරු වූ පසු, නීතියෙන් නියම කර ඇති පරිදි ඔහුව ඇප මත මුදා හැරිය යුතුය.
නීතිඥ පී. අමිත අබයසේකර සිල්වා (පොලිස් පරීක්ෂක – නීති කොට්ඨාසය)