හැටන් නගරය නොසන්සුන් වෙයි - කුපිත වූ වෙළෙදුන් සහ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්
‘පුනරුදයට පුරවර’ යන තේමාව යටතේ හැටන් නගරයේ ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරිම වෙනුවෙන් නගරයේ පදික වෙළදුන් සහ පදික වේදිකාව අවහිර වන සේ වෙළදුන් විසින් අසුරා තිබූ භාණ්ඩ හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පාලකවරයා ඇතුළු නිලධාරින් විසින් අද (25) දින ඉවත් කිරිමට කටයුතු කළා.
එම අවස්ථාවේදී එම වෙළදුන් සහ නගර සභාවේ නිලධාරින් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
මේ අතර හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා කියා සිටියේ, හැටන් නගර මධ්‍යයේ ගමන් ගන්නා මගීන්ට අවහිර වන ලෙස අවිධිමත් ආකාරයට විශාල පිරිසක් ව්‍යාපාර කටයුතු සිදු කර තිබෙන බවයි.
ඒ අනුව පදිකයන්ගෙන් ඒ සම්බන්ධයෙන් ලද පැමිණිලි කිහිපයක් මත සහ හැටන් නගරයේ ජලය ගලා බසිනා කාණු පද්ධතිය නිසි ආකාරයෙන් සකස් කර මාර්ගය පුළුල් කිරිම වෙනුවෙන් මෙසේ පදික වෙළදුන් ඉවත් කිරිමට පියවර ගත් බව ඔහු පවසයි.
එමෙන්ම සභාපතිවරයා සඳහන් කළේ පදික වෙළදුන්ට නගරයේ වෙනත් ස්ථානයක ව්‍යෘපාර කටයුතු සිදු කරගෙන යෑමට ඉඩ ලබා දෙන බවත්, සති අන්තයේ ඉරිදා මහජන පොළ භුමියේ එම වෙළදුන්ට ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යා හැකි බවත් ය.
ඒ අනුව හැටන් නගරයේ ඇතැම් ව්‍යාපාරිකයන් ඇතැම් භාණ්ඩ වෙළදසැලෙන් පිටතට ගෙනවිත්, පදික වේදිකාව අවහිර වන සේ අසුරා තිබු අතර, ඒවාද ඉවත් කිරිමට නගර සභාවේ නිලධාරින් කටයුතු කර ඇත.
කෙසේ වෙතත් පදික වෙළදුන් සඳහන් කළේ වෙළදසැල්වලට වඩා අඩු මිලට තමන් ව්‍යාපාර කටයුතු කර දෛනික ජීවනෝපාය සිදු කරගෙන ගිය බවත්, නගර සභාව මඟින් තම වෙළදාම් මෙසේ ඉවත් කිරිමෙන් තමන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වන බවත් ය.