සියල්ල උඩුයටිකුරු කරමින් විවෘත විභාග ප්‍රශ්න පත්‍රයක් විභාගයට කලින් පිට වෙයි
ඉන්දියාවේ පැවැති වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් විභාගයට පෙර පිටවීම මුල්කරගනිමින් ආරම්භ වූ තරුණ විරෝධතාවය මේ වන විට රාජ්‍ය විරෝධී කැරැල්ලක මුහුණුවරක් ගනිමින් නව දිල්ලිය යුද පිටියක් බවට පත්කර තිබේ.
ඉන්දීය මධ්‍යම රජයේ අධ්‍යාපන ඇමති ධර්මෙන්ද්‍ර ප්‍රධාන්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පසුගිය ජූනි මාසයේ සිට ආරම්භ වූ මෙම මහජන විරෝධය හේතුවෙන් අපේක්ෂකයින් මිලියන 2.3කට පමණ බලපෑම් එල්ල විය.
මෙම විභාග වංචාවට වගකීම භාරගෙන අධ්‍යාපන ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් මානව හිමිකම් ක්‍රියාකාරී සෝනම් වන්චුක් සහ 'කොක්රෝච් ජනතා පක්ෂයේ' නායක අභිජීත් ඩීප්කේ ද උපවාස ව්‍යාපාර ආරම්භ කළහ.
පාලක භාරතීය ජනතා පක්ෂ (BJP) ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම නිසා විරෝධතාකරුවන් පසුගිය සඳුදා පාර්ලිමේන්තුව දෙසට පාගමනින් පැමිණි අතර, රජය දැඩි මර්දනකාරී පියවර අනුගමනය කරමින් කළ පොලිස් පහරදීම්වලින් තරුණ තරුණියන් රැසක් තුවාල ලබා 70 දෙනෙකු පමණ අත්අඩංගුවට පත්වූහ.
පාර්ලිමේන්තුව අසල පැවැත්වෙන මෙම විරෝධතාවයට විපක්ෂයේ පූර්ණ සහාය හිමිවූ අතර, ඊයේ දිනයේදී විපක්ෂ නායක රාහුල් ගාන්ධි, ප්‍රියංකා ගාන්ධි සහ හිටපු නවදිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ඇතුළු පිරිසක් ද විරෝධතාකරුවන් සමඟ එකතු වූහ.
එහිදී ඉන්දීය පොලීසිය විසින් විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලද අතර, නිදහස් වීමෙන් පසුව පණිවිඩයක් තබමින් රාහුල් ගාන්ධි සඳහන් කළේ අගමැති නරේන්ද්‍ර මෝදි සහ අභ්‍යන්තර කටයුතු ඇමති අමිත් ෂා වහාම ඉල්ලා අස්විය යුතු බවයි.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය වැනි අසල්වැසි රටවල ශිෂ්‍ය ව්‍යාපාර මඟින් ආණ්ඩු පෙරළා දැමූ පූර්වාදර්ශයන් පවතින පසුබිමක, මාස තුනක් ඇතුළත විශාල තරුණ ආකර්ෂණයක් දිනාගත් මෙම නැවුම් තරුණ ව්‍යාපාරය දැඩි ලෙස මර්දනය කිරීමට ඉන්දීය රජය මේ වන විට කටයුතු කරමින් සිටියි.