ලොව අවලස්සනම කාන්තාව ලොව ශ්‍රේෂ්ඨතම මවයි (PHOTO)
අද මැයි 11 වනදා, ඔව් අපි හැමෝම අද දවස ගැන හොදින්ම දන්නවා. ලෝක මව්වරුන්ගේ දිනය යෙදී ඇත්තේ අද දිනටයි.
හැබැයි අද මම කියන්න යන්නේ නම් වැඩි දෙනෙක් දන්නේ නැති කතාවක්.
මේරි ඈන් නම් තරුණියක් ඉතාමත් සතුටින් ජිවත් වෙනවා.
දීප්තිමත් අනාගතයක් සමගින් රූමත් කාන්තාවක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා.
ආකර්ශණීය සිනහවක් සහ කරුණාවන්ත ඇස් හිමි ඇය හෙදියක් ලෙස සේවයේ යෙදෙමින් අසරණයන්ව රැක බලා ගන්නවා.
ඇය තෝමස් මුණගැසුණු විට, ජීවිතය ඇයට අවශ්‍ය සියල්ල ආශිර්වාද කරනවා.
ආදරය, වෘත්තිය සහ ඇගේ පවුල සම්පූර්ණ කිරීමට ලස්සන දරුවන් හතර දෙනෙක් ඇයට ලැබෙනවා.
නමුත් හදිසියේම මේරිගේ ජීවිතය ක්ෂණිකව වෙනස් වෙන්න පටන් ගන්නවා.
සැමියා තෝමස් හදිසියේම මිය යනවා.
මේරි ඈන් දරුවන් හතර දෙනාත් සමගින් තනි වෙනවා.
තම ස්වාමිපුරුෂයා අහිමි වීමේ වේදනාව ප්‍රමාණවත් නොවූවාක් මෙන්, ඇගේ ශරීරය ඇයව විරුද්ධ වෙන්න පටන් ගන්නවා.
එක් උදෑසනක, ඇගේ විවාහ මුද්ද ඕනෑවට වඩා තද වී, ඇගේ දෑත් ඉදිමී ඇති බව ඇයට දැනෙනවා.
ඇගේ මුහුණ ක්‍රමයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා.
කණ්ණාඩියෙන් මුහුණ බලන්න බැරි තරමට ඇය වෙනස් වෙනවා.
ඇගේ හකු සහ නළල ප්‍රසාරණය වෙනවා, ඇගේ කටහඬ ගැඹුරු වෙනවා, ඇගේ සම ඝන වෙනවා.
ඇයට ඇක්‍රොමෙගාලි නම් රෝගී තත්ත්වය වැළදෙනවා, ඒ සුවයක් නොමැති දුර්ලභ රෝගී තත්වයක්.
මේරි ඈන්ව ඇගේ හෙද තනතුරෙන් නෙරපා හරිනවා තම දරුවන්ට ආහාර සැපයීමට ඇයට රැකියාවක් අවශ්‍ය වෙනවා .
ඒත් රැකියාවක් සොයන් යන සෑම තැනකම ඇගේ මුහුණටම සියලු දොරවල් වසා දමනවා.
දවසක් ඇගේ ජීවිතය සදහටම වෙනස් කරන යෝජනාවක් ලැබෙනවා.
ඒ "ලෝකයේ කැතම කාන්තාව" තරඟයට සම්බන්ධ වීමටයි.
මංමුලා වූ මව එය තෝරාගන්නවා.
කිසිවෙකුට දරාගත නොහැකි දෙයකට ඇය 250 දෙනෙකු පරාජය කරමින් "ලොව කැතම කාන්තාව" තරඟයකට ඇතුළු වීමට මේරි ඈන් හද කම්පා කරවන තීරණයක් ගන්නවා.
තම දරුවන්ට කන්න දෙන්න තම ගෞරවයත් පසකලා ඇය මේ තීරණය ගන්නවා.
වැඩි කල් නොගොස්, මේරි ඈන් විනෝදාස්වාදය සඳහා පවත්වන ප්‍රදර්ශනය (සර්කස් ) සමඟ ගමන් කළා.
සෑම දිනකම ඇය සමච්චල් බැල්ම සහ කුරිරු සිනහව දරුවන් වෙනුවෙන් විඳදරා ගත්තා.
සෑම දිනකම සමච්චලය,අපහාසය,පිළිකුලට මුහුණ දීමට ඇය ශක්තිමත් වුනා.
ඒ තම දරුවන්ගේ මේසය මත ආහාර තබා ඔවුන් පාසලට යැවීම සදහාය.
මේ තරම් ආදරණිය නිර්භීත කාන්තාවක් වූ ඇය මිය යනතෙක්ම හිමි කරගත්තේ "ලොව අවලස්සනම කාන්තාව" යන නමයි.
මිය යනතෙක්ම ආදරයක් නොලැබූ මේරි ඈන් වැනි තම දරුවන් වෙනුවෙන් කැපවෙන ලොව සියලු මව්වරුන්ටම අද දිනය උපහාරයක්ම වේවා.








