මන්ත්‍රී අර්ච්චුනාට එරෙහි වරෙන්තුව ඉවත් කිරීමට අධිකරණය නියෝගයක්
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට නිකුත් කර තිබූ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ඉවත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබේ.
ඒ මහතා මෝසමක් ඉදිරිපත් කරමින් සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම තීරණය ගෙන ඇත.
කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව අධිකරණයේ පවතින නඩුව සඳහා පෙනී නොසිටීම හේතුවෙන් මන්ත්‍රීවරයාට එරෙහිව පසුගිය 24 වනදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම වරෙන්තුව නිකුත් කර තිබුණි.
එදින අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහුගේ ඇපකරුවන් ද අධිකරණයේ පෙනී සිටීමට කටයුතු කර නොතිබුණි.