ඇණවුම් කළ වාහන ගන්න පාරිභෝගිකයන්ට සල්ලි නැහැ, මෙන්න තවත් ප්‍රශ්නයක්
මෙරට පැවති අයහපත් කාලගුණය හේතුවෙන් මතු වූ ආපදා තත්වයන් නිසා බොහෝ පුද්ගලයින් ආර්ථිකව අස්ථාවරව ඇති හේතුවෙන් ඇණවුම් කරන ලද වාහන ඔවුන්ට මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (Ceylon Automobile Importers Association) සභාපති ප්‍රසාද් මානගේ පැවසීය.
තවද ඔහු සදහන් කළේ මෙරටට ගෙන්වන සෑම වාහනයකටම ආනයනය කර මාස තුනක් ඉක්ම ගිය පසුව සියයට තුනක (3%) දඬුවම් මුදලක් (Penalty) අය කෙරෙන බවත් අනපේක්ෂිත ආපදා තත්වය හේතුවෙන් එම කාලයේදී බෝහෝ පිරිසකට තමා විසින් ඇණවුම් කරන ලද වාහන මිලදී ගැනීමට නොහැකි වී තිබෙන බවයි.
මේ හේතුව නිසා එතුමා රජයෙන් ඉල්ලා සිටියේ සියයට තුනක (3%) මුදල අය නොකරන ලෙසයි.
තවද සභාපතිවරයා පෙන්වා දෙනු ලැබුයේ වාහන ලීසිං පොලී අනුපාතද සියයට දාහතරක් - පහළොවක් (14% -15%) දක්වා ඉහළ ගොස් තිබෙන බවයි .
ඒ වගේම සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් භාවිත කරන එන්ජින් ධාරිතාව දහසට (1000cc) වඩා අඩු වැගන් ආර්, ඇල්ටෝ, යාරිස් සහ හස්ට්ලර් වැනි වාහන සඳහා අයකරන බදු අඩුකරන ලෙසද එතුමා රජයෙන් ඉල්ලා සිටියේය.
වැගන්ආර් රථයකට රුපියල් ලක්ෂ 40 ක්, ඇල්ටො රථයකට රුපියල් ලක්ෂ 35 ක් 36 ක්, යාරීස් රථයකට රුපියල් ලක්ෂ 44 ක් - 45ක් පමණ බදු අය කරන බව පෙන්වා දුන් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා සදහන් කළේ මෙය ජපානයේ වෙන්දේසියෙන් වාහන ලබා ගන්නා මිල මෙන් දෙගුණයකට සමාන වන බවයි.