නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්
ඉකුත් කාලසීමාව තුළ මෙරට පාරිභෝගිකයන් විශාල ලෙස වාහන මිලදී ගැනීමට යොමුවීම නිසා ඉදිරි මාසවලදී වාහන ආනයනය පහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, දැනට පවතින නීතිමය තත්ත්වයන් මත ආනයනය කරනු ලබන වාහන මාස තුනක් ඇතුළත අලෙවි කළ යුතු බවයි.
එමෙන්ම එම කාලසීමාව ඉක්මවා විකිණීමට නොහැකි වන වාහනවලට වාහනයේ වටිනාකමින් 3% ක දඩ මුදලක් ද අය කෙරෙන බව සඳහන්.
මේ හේතුවෙන් ඇතැම් වාහන අලෙවි නියෝජිතයන්ට මාසයකට රුපියල් ලක්ෂ පහක පමණ අමතර මුදලක් ගෙවීමට සිදුව ඇති බව ද ඔහු හෙළි කරයි.
එමෙන්ම පෙබරවාරි සහ මාර්තු මාසවලදී මෙරට භාණ්ඩ ආනයනය යම් ප්‍රමාණයකින් අඩුවිය හැකි බවට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අනාවැකි පළ කර ඇත.
මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ චීන අලුත් අවුරුදු සමය සඳහා එරට වරාය සහ වෙළඳ මධ්‍යස්ථාන සති තුනක පමණ කාලයක් වසා තැබීම බව ද පවසා ඇත.
කෙසේ වුවද මෙම තත්ත්වය රේගුවේ වාර්ෂික ආදායම් ඉලක්කයට බලපෑමක් නොවන බව අරුක්ගොඩ මහතා අවධාරණය කරයි.
මුදල් අමාත්‍යාංශය මඟින් 2026 වසර වෙනුවෙන් රුපියල් බිලියන 2,207 ක ආදායම් ඉලක්කයක් රේගුවට ලබා දී ඇති බව ද වාර්තා වේ.
ඉකුත් ජනවාරි මාසයේදී භාණ්ඩ ආනයනය සැලකිය යුතු ලෙස ඉහළ යාම නිසා නියමිත ඉලක්කය ඉක්මවා බිලියන 72 ක අතිරික්ත ආදායමක් උපයා ගැනීමට රේගුව සමත්ව තිබුණා.
එනිසා ඉදිරි මාසවල සිදුවන ආනයන උච්චාවචනයන් වාර්ෂික ඉලක්ක සපුරා ගැනීමට බාධාවක් නොවන බව ද ඔහු වැඩිදුරටත් පැහැදිලි කරයි.