පුරවැසියන්ට විශේෂ ආරක්ෂක අනතුරු ඇඟවීමක් - සෞදි රාජ්‍ය දැඩි අවදානමක
සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ ප්රහාරයන් සැලකිල්ලට ගනිමින්, සෞදි අරාබියේ සිටින සිය පුරවැසියන් සඳහා විශේෂ ආරක්ෂක අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය (U.S. Embassy Riyadh) පියවර ගෙන ඇත.
එම නිවේදනය මඟින් ඇමරිකානු රජය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ඒ අවට ප්‍රදේශ වෙත ගමන් කිරීමෙන් වළකින ලෙසයි.
එමෙන්ම, සෞදි අරාබියේ පිහිටි සියලුම ප්‍රධාන ගුවන්තොටුපළවල් භාවිතා කිරීමේදී දැඩි ලෙස ප්‍රවේශම් වන ලෙස ද දන්වා ඇත.
සෞදි අරාබියේ සේවය කරන ඇමරිකානු රාජ්‍ය නිලධාරීන්ට රියාද්, ජෙඩා (Jeddah) සහ දම්මාම් (Dammam) යන ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් භාවිතා කිරීම සඳහා විශේෂ අවසරයක් ලබාගත යුතු බවට සීමා පනවා ඇති අතර, යේමන දේශසීමාවේ සිට සැතපුම් 20ක සීමාව තුළ ගමන් කිරීම ද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
ප්රහාරයන් හේතුවෙන් ගුවන්ගමන් අවලංගු වීම්, ගුවන් සීමා වසා දැමීම් සහ ගමන් බාධා සිදුවිය හැකි බැවින්, සිය ගුවන්ගමන් වේලාවන් පිළිබඳව අදාළ ගුවන් සමාගම් හෝ ගුවන්තොටුපළ බලධාරීන්ගෙන් ඍජුවම තොරතුරු තහවුරු කරගන්නා ලෙස ද ඇමරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දී ඇත.