සාමය දෙපිටින් යයි - යුද ගිනි අවුලවමින් ඉරානයේ හමුදා කඳවුරකට අමෙරිකාවෙන් යළිත් ප්‍රහාර
අමෙරිකානු හමුදාවන්ට සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ සිදුවන වාණිජ නාවික ගමනාගමනයට තර්ජනයක් යැයි සැක කෙරෙන ඉරානයේ හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින්, අමෙරිකානු මිලිටරිය විසින් ඊයේ රාත්‍රියේ නව ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව අමෙරිකානු නිලධාරියෙක් පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව තම අනන්‍යතාව හෙළි නොකිරීමේ කොන්දේසිය මත අදහස් දැක්වූ මෙම නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවැනිම තර්ජනයක් එල්ල කළ ඉරාන නියමුවන් රහිත ඩ්‍රෝන යානා කිහිපයක් ද අමෙරිකානු හමුදාව විසින් වටලා බිම හෙළා තිබෙන බවයි.
කෙසේ වෙතත් මෙම නවතම ප්‍රහාර එල්ල වී ඇත්තේ පෙබරවාරි 28 වෙනිදා අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරත් සමඟ ආරම්භ වී, දහස් ගණනකගේ ජීවිත බිලිගනිමින් සහ ලෝක බලශක්ති මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ නංවමින් මාස තුනක් තිස්සේ ඇදී යන මෙම යුද්ධය අවසන් කිරීමට සාම සාකච්ඡා පැවැත්වෙන අතරතුරයි.
සාම ගිවිසුමක කොටසක් වශයෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතු ඉරානය සහ ඕමානය ඒකාබද්ධව කළමනාකරණය කරන බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය කළ වාර්තාවක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා මුල් භාගයේදී ප්‍රතික්ෂේප කර තිබුණ බව වාර්තා වේ.
ඒ අනුව ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ එම මුහුදු මාර්ගය සැමවිටම විවෘතව පවතින බවටයි.
ඒ අනුව දෙරට අතර පවතින බිඳෙනසුලු සටන් විරාමය උල්ලංඝනය කරමින් අමෙරිකාව ක්‍රියා කරන බවට ඉරානය චෝදනා කරන පසුබිමක, ඉකුත් සඳුදා ද අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව "ආත්මාරක්ෂක ප්‍රහාර" එල්ල කර තිබෙන බව සඳහන්.
මේ අතර මුහුදු බෝම්බ වැපිරීමට උත්සාහ කළ බෝට්ටු සහ මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන ඒ අතර වූ බවත්, ඒවායින් අමෙරිකානු හමුදාවන්ට තර්ජනයක් තිබූ බවත් අමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය පවසා ඇත.